ඉන්දියාව කොවිඩ් අතරතුර ලොව නරකම වායු ගුණත්ව මට්ටම කරාත් ළඟා වෙලාලු

කොවිඩ්-19 ආසාදිතයන්ගේ පෙර නොවූ විරූ ඉහළ යෑමකට එරෙහිව සටන් කිරීමට අමතරව, ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ, විශේෂයෙන් නවදිල්ලිය හා ඒ අවට ප්‍රදේශවල මේ වනවිට ලෝකයේ නරකම වායු ගුණාත්මකබව අත්විඳිමින් සිටින බව වාර්තා වෙයි.

ගෝලීය වායු ගුණාත්මක දර්ශක තථ්‍ය කාලීන දත්තයන්ට අනුව මේ දිනවල ඉන්දියාවේ වායු ගුණාත්මකබව ලෝකයේ ඕනෑම රටකට වඩා නරකම තත්ත්වයක පවතින බව සලකුණු කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නවදිල්ලියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වායු ගුණාත්මක දර්ශකය විසින් මේ සතියේ සෑම දිනකම පාහේ එරට වායු ගුණාත්මකබව අන්තරායකර මට්ටමට (AQI 300ට වඩා වැඩි) ළඟා වී ඇති බවත්, එය 2014දී අධීක්ෂණය ආරම්භ කිරීමෙන් පසු අප්‍රේල් මාසයේ වාර්තා වූ වායු ගුණාත්මක තත්ත්වයේ නරකම සංඛ්‍යාව බවත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ඉන්දියාව ලොව භයානක වායු ගුණාත්මක තත්ත්වයන්ට පත්වන රටක් ලෙස අමුත්තක් නොවන්නේ, මීට පෙරත් එරට බොහෝ නගර ලෝකයේ නරකම වායු ගුණත්මකබව සඳහා වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටි බැවිනි. නමුත් මෙවර මෙම කියවීම් අප්‍රේල් මාසවල පැවති සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ අගයක් ගැනීම විශේෂත්වයක් මෙන්ම, වඩාත් අවධානයට යොමුකළ යුතු තත්ත්වයකි. නොවැම්බරයේ සිට පෙබරවාරි දක්වා සීතලම මාසවල සාමාන්‍යයෙන් උතුරු ඉන්දියාවේ නරකම වායු ගුණාත්මකබව දක්නට ලැබේ. නමුදු අප්‍රේල් වනවිට එරට වායු ගුණාත්මකබව සාමාන්‍යයෙන් වඩා හොඳ මට්ටමක පැවතිණි.

ඒ අනුව මෙම නව තත්ත්වය වඩාත් වැදගත් වන්නේ, ඉහළ වායු දූෂණයක් පැවතීම කොවිඩ්-19 හි බලපෑම වඩාත් නරක අතට හරවන්නක් බැවිනි. එක්සත් ජනපදයේ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ ඔබ ඉහළ දූෂණයක් ඇති ප්‍රදේශයක ජීවත් වන්නේ නම් ඔබ කොවිඩ්-19 වැලඳී මියයාමට වැඩි ඉඩක් ඇති බවය.