ප්‍රභල අකුණු ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රභල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ප්‍රකාශකර ඇත්තේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසට ද දැනුම් දෙනවා.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතුයි.

බයිසිකල් ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැළකිය යුතු බවටයි ජනතාවට දැනුම්දෙන්නේ.

තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් බිම ඇද  වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසට සහ හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.