දක්ෂිණ අධිවේගය – කොට්ටාව, කඩුවෙල සහ අතුරුගිරිය හුවමාරුවල සේවකයින් 17කට කොවිඩ්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු කිහිපයක කාර්ය මණ්ඩල ඉවත් කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා පවසන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොට්ටාව, කඩුවෙල සහ අතුරුගිරිය යන අන්තර් හුවමාරුවල සේවකයින් එලෙස ඉවත් කර ඇති බව ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් එම අන්තර් හුවමාරු විවෘතව තැබෙන අතර ඒවායෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හෝ පිටවන රථ වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බව මිහාල් ලොඩ්වික් මහතා පැවසුවේය.

ඒ අනුව අතුරුගිරිය, කොට්ටාව සහ කඩුවෙල යන අන්තර් හුවමාරුවලින් ඇතුළු වන රථ වාහනවලට පිටවන ස්ථානයේදී ගාස්තු ගෙවිමේ හැකියාව පවතී.

මේ වන විට කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවකයින් 12 දෙනෙකුට, කඩුවෙල අන්තර් හුවමාරුවේ සේවකයින් සිව් දෙනෙකුට හා අතුරුගිරිය අන්තර් හුවමාරුවේ එක් සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව මිහාල් ලොඩ්වික් මහතා වැඩිදුරටත් පැවසුවේය.