ඕනෑම මොහොතක තෙල් විසිරීමක් වෙන්නත් පුළුවන් : නෞකාවේ ගින්න මැඩපැවැත්වීමට තවම හැකියාවක් නෑ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින “නිව් ඩයමන්ඩ්” නම් තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට මෙතෙක් හැකිවී නොමැති අතර නැව තුළ සිදුවූ පිපිරීම් කිහිපයකින් පසු නෞකා බඳෙහි ඉරිතැලීම් කිහිපයක් පෙන්නුම් කරන බව වාර්තා වේ.
“තවමත් තෙල් විසිරීමක් ගැන වාර්තා වෙන්නෙ නෑ. කෙසේ හෝ මේ නැව ඇතුළේ කුඩා පිපිරීම් කිහිපයක් වාර්තා වී තියෙනවා. ඒ වගේම නැවේ බදේ මේ වන විට ඉරිතැලීම් කිහිපයක් වාර්තා වෙමින් පවතිනවා. කෙසේ හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අනුව අපට දැන ගැනීමට ලැබී තිබෙනවා, නැවේ ස්ථායිතාවයට කිසියම් බලපෑමක් වෙලා තියෙනවා කියලා. මේ අනුව අපි අනුමාන කරනවා තෙල් විසිරීමක් ඕනෑම වේලාවක සිදුවිය හැකි බවට”
“යම් හෙයකින් මෙයින් තෙල් විසිරීමක් සිදුවුවහොත් කල්කුඩා, පාසිකුඩා හා ආරුගම්බේ ප්‍රදේශයට හානි වෙන්න පුළුවන්. තෙල් ඉහළ පැත්තට ගියොත් වාකරේ ප්‍රදේශයට හා ත්‍රීකුණාමලයේ පිජන් දූපත්වලට හානියක් විය හැකියි. ඊට අමතරව තෙල් පහළට ආවොත් අනිවාර්යයෙන්ම කිරින්ද ප්‍රදේශය දක්වා ම පැතිර යා හැකියි. වර්තමානය වෙද්දි එවැනි දෙයක් මෙතෙක් වාර්තා වෙන්නේ නෑ. නමුත් රටක් විදියට එවැනි දෙයක් වුනොත් මුණදීමට කළ හැකි සියලු දේ අනුගමනය කරමින් ඉන්නවා” යනුවෙනුයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ.
එසේම ආපදාවට ලක්ව ඇති නෞකාව අද වනවිට ඊයේ තිබුණාට වඩා නාවික සැතපුම් 12 – 13ක් පමණ ගොඩබිම දෙසට පැමිණ ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.