මෝදිට චෝදනාවක්

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ක්‍රියාකාරකම්වලට සමාව දිය නොහැකි බව බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් වෛද්‍ය සඟරාව චෝදනා නගනවා.

එහි නවතම ප්‍රකාශනයේ කතුවැකිය මඟින් පෙන්වා දෙන්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේදී ඉන්දියාව මුලදී ලද සාර්ථකත්වය මෝදි රජයේ ක්‍රියාකාරකම් නිසා අපතේ ගොස් ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ නිසා කොරෝනා ව්‍යාප්තියෙන් ඉන්දියාව ඛේදනීය තත්ත්වයකට පත් කිරීම පිළිබඳව ඔවුන් වගකිව යුතු බව ලැන්සෙට් සඳහන් කළා.

ඉන්දියාවේ දෙවන කොරෝනා රැල්ල පැන නැගීමට පෙර මාර්තු මස මුලදී ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් ප්‍රකාශ කළේ ඉන්දියාව කොරෝනා වසංගතය මැඩලීමට සමත් වූ බවයි.

වෛද්‍ය වෘත්තිකයින්ගේ අනතුරු ඇඟවීම් නොතකා ඉන් පසු ආගමික උත්සව පැවැත්වීමට අවසර හිමි වූ අතර, ඊට මිලියන සංඛ්‍යාත ජනතාව එක්රැස් වුණා. කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් දේශපාලන රැලි සංවිධාන කෙරුණා.

එමෙන්ම, රජයේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය අප්‍රේල් මාසයේ රැස්වූයේ මාස ගණනකට පසුවයි.

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යද්දී රජය ඒ පිළිබඳව විවෘතව සංවාදයකට එළැඹීමකින් තොරව විවේචන පිටුදැකීමට පමණක් කටයුතු කළා.

මෙම අත්වැරදීම් හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරීමට නම් කොරෝනා මර්දන ප්‍රතිචාර ක්‍රියාවලිය මුළුමනින්ම නැවත සැකසිය යුතුයි.

එය විනිවිදභාවයෙන් යුතුව සිදුකළ යුතු අතර, විද්‍යාවට මුල්තැන දෙමින් කටයුතු කළ යුතු බව ලැන්සෙට් වෛද්‍ය සඟරාව වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්දියාවේ ඊයේ දිනයේ වාර්තාගත ලෙස කොරෝනා මරණ 4,187 ක් සටහන් වුණා.

එමෙන්ම, දෛනික ආසාදිත සංඛ්‍යාවද හාරලක්ෂය ඉක්ම වූවා.

සෞඛ්‍ය දත්ත විශ්ලේෂණවලට අනුව ලබන අගෝස්තු 01 වැනිදා වනවිට ඉන්දියාවේ කොරෝනා මරණ මිලියනය දක්වා ඉහළ යා හැකියි.

එවැනි තත්ත්වයක් උදාවුවහොත් ඊට නරේන්ද්‍ර මෝදි රජය වගකිව යුතු බවයි ලැන්සෙට් වෛද්‍ය සඟරාව පෙන්වා දෙන්නේ.

මේ අතර, බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍යවරිය වන මම්තා බෙනර්ජි ද ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් මෝදි රජයට චෝදනා කළා.

පසුගියදා පැවති බෙංගාල මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය පරාජයට පත්වූවද, ඒ සඳහා පසුගිය මාස 06 ක කාලය තුළ රජයේ අමාත්‍යවරුන් බෙංගාලයේ සැරිසැරූ බවයි ඇය සඳහන් කළේ.

මෙලෙස බෙංගාලය අත්පත් කර ගැනීමට යාමෙන් අගමැති මෝදි සමස්ත ඉන්දියාවම විනාශ මුඛයට රැගෙන ගිය බව මම්තා බෙනර්ජි වැඩිදුරටත් සඳහන් කළා.