කුවේටයේ දී ඝාතනය වූ ශ්‍රී ලංකික ගෘහ සේවිකාවගේ ඝාතනයේ සුළ මුල හෙළිවෙයි
කුවේටයේ ගෘහ සේවයේ නිරතව සිටියදී ගෙල කපා ඝාතනය කළ ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (09) උදෑසන මෙරටට රැගෙන ආවා.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි ස්වර්ණවතී හේරත් නැමැති 39 හැවිරිදි එක්දරු මවක්.
පසුගිය අප්‍රේල් මස 13 වනදා ස්වර්ණවතී, ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක් අතින් ඝාතනයට ලක්ව ඇති බවටයි සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
ඝාතනය සිදුකළ ඉතියෝපියානු ජාතික කාන්තාවක ද ස්වර්ණවතී රැඳී සිටි කාමරයේම වාසය කර ඇති බවයි වාර්තා වන්නේ.
වසර 02ක සිය සේවා කාලය අවසන්ව යළි දිවයිනට පැමිණීමට සූදානම්ව සිටින අවස්ථාවේදීයි ඇය පසුගිය 13 වනදා මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.
මෙරටට රැගෙන ආ ස්වර්ණවතීගේ මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකර තිබෙනවා.
එහිදී තියුණු ආයුධයකින්, ස්වර්ණවතීගේ ගෙල ප්‍රදේශයට, කකුළට, වම් අතේ දඹර ඇඟිල්ලට සහ දකුණු අතේ මහපට ඇඟිල්ලට පහර දී ඇති බවට ආනාවරණය වී අතර ගෙල ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් ගෙල වෙන්වී නොගිය ද එය මාරාන්තික වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ස්වර්ණවතී දිවයිනට පැමිණි පසු ඉතියෝපියානු ජාතික කාන්තාවට අදාල නිවසේ වැඩ කටයුතු තනිව කිරීමට සිදුවන බැවින් එයට කෝපයට පත්ව මෙම අපරාධය සිදුකර ඇති බවයි සිදුකළ මුලික විමර්ශන වලදී හෙළිව ඇත්තේ.
මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අද (10) මීගමුව පොදු සුසාන භූමියේ දී ස්වර්ණවතී අවසන් කටයුතු සිදුකරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.