විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවෙන් කොවිඩ් මර්දනයට පියවර රැසක්

දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ රැස්වීමක් අද(10) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුනා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවතී එම සාකච්චාවේදී කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් අනෙකුත් දිස්ත්‍රික්කවල ද කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනම් කිරීමට තීරණය කෙරුනා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ප්‍රමාණයද දෙගුණයක් දක්වා වැඩි කිරිමට සාකච්චා වී තිබෙනවා.

දිස්ත්‍රික්ක මට්ටමින් රසායනාගාර වැඩිකිරිම තුලින් PCR පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරිම සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමද සිදු කල යුතු බව මෙහිදී වැඩිදුරටත් සාකච්චා කෙරුනා.

දැනට ගොඩගැසී ඇති PCR සාම්පල පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කර PCR පරීක්ෂණ වලට භාජනය වන පුද්ගලයින් නිවෙස් වලින් බැහරට යාම වැළැක්වීම සදහා වැඩ පිළිවෙලක් සකස් කිරීමටත් මෙම සාකච්චාවේදී යෝජනා වී තිබෙනවා.

මේ අතර සැකසෙමින් පවතින ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය ඔක්සිජන් ඇතුලු අනෙකුත් පහසුකම් කඩිනමින් ලබාදී වෛද්‍ය උපකරණද  මිල දී ගෙන මධ්‍යස්ථානවලට ලබා දීමට මෙහිදී තීරණය කෙරුනා.

එමෙන්ම PCR රසායනාගාර දිස්ත්‍රික් මට්ටමින් වැඩි කිරිම සහ ඒ සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කොවිඩ් මර්දන අරමුදල මගින් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙහිදී උපදෙස් දී ඇත්තේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ගනු ලබන තීන්දු තීරණ පිළිබද වාර්තාවක් ජනාධිපතිවරයා වෙත   ලබාදීමට කටයුතු කරන ලෙසයි.