හරිත සමාජ ආර්ථික රටාවක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක්

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කර තිබෙනවා.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බලකායට කැබිනට් අමාත්‍යවරු 05 දෙනෙක්, ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඇතුළු සාමාජිකයන් 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දේශගුණ විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ලෙසයි එය නම් කර ඇත්තේ.

දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුමක් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය අප්‍රේල් 27 වැනිදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට එහි අනුමැතිය හිමි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අවධාරණය කර ඇති පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, වායුගෝලය, අපද්‍රව්‍ය, කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය, ජනාවාස හා නගර මෙන්ම පාරිසරික අධ්‍යාපනය යන අංශ පිළිබඳ කරුණු සැලකිල්ලට ගනිමින් එම අභියෝග ජය ගැනීමට ජනාධිපතිවරයාට ජනවරමක් ලැබී ඇති බවයි එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ.

වර්තමානය වනවිට රසායනික පොහොර, වල්නාශක හා පලිබෝධ නාශක සඳහා අතිවිශාල ජාතික ධනයක් වැය කිරීමට සිදුවීම සහ එමඟින් ගංඟා, වැව්, අමුණු ජලය මෙන්ම පස දූෂණය වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන භාවිත කරමින් පූර්ණ වශයෙන් රසායනික ගොවිතැනෙන් ස්වභාවික ගොවිතැනට පරිවර්තනය වීම සඳහා මාර්ග සිතියමක් පිළියෙල කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමක් වනු ඇති.