අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ 4 දක්වා ඉහළට – ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්
නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
එසේම අදාළ මුහුදු ප්‍රදේශවල මේ මොහොතේ ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි දැනුම් දෙන්නේ.
ඊට අමතරව සුළඟේ වේගය ඉහල යා හැකි බැවින් කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 4ක් වාර්තා වී තිබෙනවා.
ගාල්ල – නාගොඩ ප්‍රදේශයෙන් මරණ දෙකක් වාර්තා වන අතර ඔවුන් වයස අවුරුදු 32 සහ 51 යන වයස්වල පසුවන්නන්. සැඬ පහරට හසුව ගසාගෙන යාමෙන් මෙම මරණ දෙකම සිදුව තිබෙනවා.
එමෙන්ම, වරකාපොල ප්‍රදේශයේ 55 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබුණේ නිවස මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන්.
එලෙස මියගිය පුද්ගලයාගේ මවද එම පස් කන්දට යටවූ අතර, යුද හමුදා සාමාජිකයන් විසින් සිදුකළ මෙහෙයුම්වලදී අදාළ කාන්තාව බේරාගැනීමට හැකිව තිබෙනවා.
බියගම – කොළඹ ප්‍රධාන මාර්ගයේ පට්ටිවිල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් 22 හැවිරිදි තරුණයෙකු සැඬ පහරට හසුවීමෙන් අද මිය ගිය අතර පසුව ඔහුගේ දේහය සොයා ගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.
දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා.
කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි.
අයහපත් කාලගුණයත් සමඟ ගංඟා රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබූ අතර, කැළණි ගඟ ආශ්රිත දෙහිඕවිට, රුවන්වැල්ල, දොම්පේ, සීතාවක, කඩුවෙල, බියගම, කොළොන්නාව, වත්තල සහ කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු වනවා.
මීට අමතරව කළු, ගිං, නිල්වලා ගංඟාවල මෙන්ම මාඔය සහ අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර, ඒ අවට පහත්බිම්වල ජනතාවද අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.