සංචරණ සීමා අතර ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් නොවීම වෙනුවෙන් ජනපතිගෙන් තීරණ රැසක්

කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණ රැසකට එළැඹ තිබෙනවා.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීම සහ බෙදාහැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන (Shipping Line) විවෘතව තැබීමට පියවර ගත යුතු වනවා.

ප්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරීමටයි ද ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත්තේ.

මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමටත්, දිවයින පුරා ඇති සතොස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමට රැකියා ලක්ෂය සඳහා බඳවාගත් පිරිස යොදා ගැනීමට ද උපදෙස් දී තිබෙනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමට මෙන්ම, මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලීසිය සමග යුද හමුදාව යෙදවීමටයි තීරණය කර ඇත්තේ.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

PCR පරීක්ෂණ සිදුකරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු හඳුනා ගතහොත් එම ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම  අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙසටයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

ආසාධිතයන්ට ප්‍රතිකාර කිරිමේ දී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් ද යොදා ගැනීමට මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.

මැයි මස 25 සහ 28 දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණ ද ජනතාවට නිවසින් බැහැර යාමට අවසර හිමි වන්නේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණයි.

විදේශ රටවල් කිහිපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිත අතර එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම්  ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

මෙතෙක්  තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව වන අතර ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යවරු ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බවයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී සඳහන් කළේ.