වයඹ දිග වෙරළත් කළු වේ – අම්ල වැසි ගැනත් අවදානමක්

ගිනි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායන ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ රැගෙන ගිය පිරිස් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව පොලීසිය පවසනවා.

මේ අතර, නාවික හමුදාව සඳහන් කළේ නෞකාවේ ගින්න එහි පාලක මැදිරිය දක්වා තවමත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නාවික හමුදාව හා වරාය අධිකාරිය ඇතුළු පාර්ශව මේ වනවිටත් ගින්න පාලනය කිරීමේ කටයුතුවල නිරතව සිටින අතර, ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ වෛයිභව් සහ වජ්‍රා නෞකාව මෙන්ම ඩෝනියර් ගුවන් යානය නෞකාවේ ගින්න නිවීමේ ඒකාබද්ධ මෙහෙයුමට එක් වූ බවයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් අද අවස්ථා දෙකකදී නෞකාව මතට ගිනි නිවීමේ වියළි රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 850 ක් හෙලනු ලැබුවා.

මේ අතර, ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු සුන්බුන් වත්තල – ප්‍රීතිපුර සිට මීගමුව දක්වා වන වෙරළ තීරයට අද අලුයම සිට ගොඩගසා තිබුණා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දිගින් දිගටම ජනතාවට දැනුම් දුන්නේ අදාළ කොටස් ශරීර සෞඛ්‍යට අහිතකර බැවින් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසටයි.

කෙසේ වෙතත්, එම උපදෙස් පිළි නොපදිමින් ඇතැම් පිරිස් අද පෙරවරුවේ උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා වූ කපුගොඩ, සෙත්තප්පාඩුව, දුංගල්පිටිය හා තලාහේන යන වෙරළ තීරයන්ට එක්රැස්ව නෞකාවෙන් වෙරළට ගසාගෙන ආ සුන්බුන් රැස්කරනු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම පිරිස සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර පැවසුවේ මෙම තත්ත්වයත් සමඟ ඇතැම් ප්‍රදේශවලට අම්ල වැසි ඇති වීමේ අවදානමක් ඇතිවිය හැකි බවයි.

ගිනි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු අබලි ද්‍රව්‍ය පාවී එනු ඇති බවට අපේක්ෂා කරන දික්ඕවිට සිට හලාවත දක්වා සහ වැල්ලවත්ත සිට පානදුර දක්වා මුහුදු තීරයේ නාවික හමුදාව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇති බවයි. එසේම පාවී එන ද්‍රව්‍ය පිළිබඳව ද නිරන්තර අවධානයෙන් පසුවන බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවන පරිසර හානිය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය ද පියවර ගෙන තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළ තීරය කළු පැහැයකින් දිස්වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පමුණුගම සිට මීගමුව දක්වා මුහුදු වෙරළේ තැන තැන පිලිස්සී ගිය ප්ලාස්ටික් කොටස් ගොඩ ගැසෙමින් තිබෙන අතර, මේ වනවිට එම රසායනික ද්‍රව්‍ය වඩදිය සමග මීගමුව කලපුව තුලට ගලාඑමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම සිද්ධියත් සමඟ දැනට මෙරට වායු දූෂණයට බලපෑමක් සිදුව නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

මේ අතර, නෞකාව අවට මුහුදේ තෙල් පැතිර යාමක් සිදුවුවහොත් පවතින තත්ත්වයට මුහුණදෙමින් එය අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා.