රබර් වගාවට පත්‍ර පතන රෝගයක්

මෙරට රබර් වගාවන් ආශ්‍රිතව මේ දින වල පෙස්ටලෝෂියොප්ෂිස් නැමැති පත්‍ර පතන රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය පවසනවා.

එම ආයතනය ප්‍රකාශ කළේ මෙම රෝගයේදී පෙබරවාරි සිට අපේ්්‍රල් දක්වා සිදුවන සාමාන්‍ය වාර්ෂික පත්‍ර පතනයට සහ ඔයිඩියම් රෝගය හේතුවෙන් සිදුවූ පත්‍ර පතනයට අමතරව මැයි සහ ජූනි මාස වලදීද පත්‍ර හැලී යාම සිදු වන බවයි.

පවතින වැසි සහිත කාලගුණ තත්වය සමග මෙම පත්‍ර පතන රෝගය දරුණු තත්වයට පත් වෙමින් ඇති බවට නිරීක්ෂණය වන බවයි රබර් පර්යේෂණායතනය සඳහන් කළේ.

ඒ අනුව රබර් වගාවන් තුල පැතිර යන මෙම රෝගය පිළිබද තොරතුරු දැනුම් දීම සඳහා වට්ස්ඇප් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව හැලුණු පත්‍රයක ඡායාරූපයක් සහිතව ඉඩමේ ලිපිනය, දුරකථන අංකය, වගාව අයත් ක්ලෝනය සහ බිම් ප්‍රමාණය 0772 419 482 යන අංකයට වට්ස්ඇප් පණිවිඩයකින් ලබා දෙන ලෙසයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය දැනුම් දෙන්නේ.

පවතින කොරෝනා වසංගතය සමග ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් වගාවන් පරීක්ෂා කිරීමේ කටයුතු සහ රෝග මර්ධන කටයුතු සිදු නොවන බවත් ඉදිරියේදී එම කටයුතු යලි ආරම්භ කරන බවත් රබර් පර්යේෂණායතනය වැඩිදුරටත් සඳහන් කලා.

මෙලෙස මැයි සහ ජූනි මාස වලදී රබර් ශාක වල පත්‍ර හැලිීයාම සිදුවන පත්‍ර පතන රෝගය මීට පෙර පසුගිය 2020 සහ 2019 යන වසර වලදී ද වාර්තා වුණා.