සයිනොෆාම් පළමු මාත්‍රාව දුන් ස්ථානවලදීම දෙවන මාත්‍රාව දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට ජුනි මස 8 වනදා සිට මාසයක් සම්පූර්ණ වන දිනයේදී පළමු එන්නත ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති වෙනත් දිස්ත්‍රික්වල එන්නත්කරණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදියි ඔහු මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම ජුනි මස 07 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී තීරණය කර තිබෙනවා.

සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා  අතරමැද තෝරාගත් දින 03ක් රට විවෘතව තැබීමටයි මීට පෙර තීරණය කෙරුණේ.

එහෙත් පසුගිය 25 වනදා පෙරවරු 4ට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව ක්‍රියා කළ ආකාරය වසංගතය පැතිර යාමට ඉඩ හැරීමක් බැවින් වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සහාය එමගින් අසාර්ථක විය හැකි බව ඔහු පෙන්වා දෙනු ලැබුවේ.

ඒ අනුව මැයි මස 31 සහ ජුනි මස 04 යන දෙදින සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබු තීරණය අත්හිටවූ අතර ඉදිරි දින සඳහා ජනතාවට අවශ්‍ය  භාණ්ඩ ජංගම අලෙවි රථ මගින් බෙදාහැරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැර යාමට අවසර ,ලබා දී තිබෙනවා.

මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් කැඳවීම් කර ඇති  ලිපිය සහ සේවා හැඳුනුම්පත ළග තබාගැනීම අනිවාර්යය වනවා.

කොවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සාහයට ජනතාව ද වගකීමෙන් සහාය දිය යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.


කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!