විවෘතයි කී දඹුල්ල වහලා
රජයේ නිවේදන හරහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු විකිණීහට හා මිලදී ගැනීමට පැමිණි සියලු දෙනාටම අද (29දා) උදෑසන නැවත හැරී යාමට සිදුවූ බව ගොවීන් මෙන්ම තොග වෙළෙන්දෝ පවසති.
ඉකුත් දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශයන් වල දී ආර්ථික මධ්‍යස්ථාන දින තුනක කාලයක් තොග වෙළෙඳ ව්‍යාපාරිකයන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා විවෘත කරන බවට කරන ලද ප්‍රකාශය සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 29 උදෑසන දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් එළවළු මිලදී ගැනීම සඳහා ව්‍යාපාරික පිරිස් මෙන්ම එළවළු සහ පලතුරු ගොවින්ද තම නිෂ්පාදන රැගෙන පැමිණ තිබුණද දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දමා තිබුණු බව ඔවුහු පවසති.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ප්‍රජාවට කම්කරුවන්ට සහ සේවකයන්ට එන්නත ලබාදීමේ වැඩ වැඩපිළිවෙළ 29 දිනට ද ක්‍රියාත්මක වීම නිසා ආර්ථික මධ්‍යස්ථානය මෙදින විවෘත කිරීමට නොහැකි බව වෙළෙඳ සංගමයේ සභාපති යූ ,බී, ඒකනායක මහතා අප කළ විමසීමකදී පැවසීය .
ආර්ථික මධ්‍යස්ථානය 30 සහ 31 යන දින දෙක තුළ විවෘත කිරීමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ව්‍යාපාරිකයන් සහ ගොවීන් පැමිණ පැය කීපයක එහි රැඳී සිටි අතර ඇතැම් ව්‍යාපාරිකයෝ ගොවීන්ගේ එළවළු එම ස්ථානයේ දී ම ඔවුන් රැගෙන ආ තරාදි වලින් කිරා මිලදී ගන්නා අයුරු දැකගැනීමට හැකි විය.