ගිනිගත් නැවේ පොලිතින් කැට දිවයින වටා පැතිරෙන ලකුණු

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මුහුදු ජලයට එක්ව ඇති අඩු ඝණත්වයකින් යුත් පොලිතීන් කැට, රට වටා පැතිර යා හැකි බව සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටියආරච්චි ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියාවේ  සිට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ගිනි ගනිමින් පවතින නෞකාව පිහිටි ප්‍රදේශයේ දියවැල් උතුරේ සිට දකුණට ගමන් කරමින් පවතින බැවින් අදාළ පොලිතින් කැට වැඩි වශයෙන් මේ වනවිට දකුණු ප්‍රදේශයට ගමන් කරමින් පවතින බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ හේතුවෙන් කැළණි ගඟ ඇතුළු ගංඟාවලටද නොදිරන මෙම පොලිතින් කැට එක්විය හැකි බව ඔහු පෙන්වා දුන්නා.

මේ අතර, නෞකාවෙන් මුහුදට ඇද වැටුණු හානි වූ බහාලුම් තුළ තිබූ රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් ආදී ද්‍රව්‍ය වත්තල සිට කල්පිටිය දක්වා වයඹදිග මුහුදු තීරයට ද පැමිණ තිබෙනවා.

මීට අමතරව විවිධ රසායනිකයන් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මිය ගිය මුහුදු ජීවීන් වැල්ලවත්ත, දෙහිවල, කළුතර සහ පානදුර යන ප්‍රදේශවල වෙරළ තීරයන් වෙත අද දිනයේත් ගොඩ ගසා තිබුණා.

එමෙන්ම නෞකාවේ රසායනික ද්‍රව්‍ය තිබූ බවට සැක කෙරෙන බැරලයක් පානදුර වෙරළ තීරයට ගොඩ ගසා තිබූ අතර එය මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් අද නිරීක්ෂණයට ලක් කළා.

මීට අමතරව ඔවුන්, භූ ගත ජලයට බලපෑමක් සිදුවී ඇත්ද යන්න පරීක්ෂා කිරීමට පමුණුගම සහ උස්වැටකෙයියාව ආදී ප්‍රදේශවල ළිං ජලය ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් නිපදවී ඇති මිශ්‍ර උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පිළිබඳව මාර්ගෝපදේශ සහ යෝජනා  11 ක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුලු ආයතන වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව නෞකාවේ සුන්බුන් සහ අපද්‍රව්‍ය එක්රැස්විය හැකි වෙරළ තීර සහ ස්ථාන අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කර ඇති අතර, ජනතාවට එම අපද්‍රව්‍ය ස්පර්ශ නොකරන ලෙස දැනුම්දිය යුතුයි.

එක්රැස් කරන අපද්‍රව්‍ය පිටස්තර පුද්ගලයින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා පොලීසිය හෝ නාවික හමුදාව යටතේ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කළ යුතු බව අදාළ මාර්ගෝපදේශවල දක්වා තිබෙනවා.

නෞකාවේ අපද්‍රව්‍ය හේතුවෙන් අවදානමට ලක්ව ඇති කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර ප්‍රකාශ කළා.

ඇය මේ බව සදහන් කළේ නෞකාවේ රසායනික අපද්‍රව්‍ය මීගමුව කළපුවට මුසුවීම වැළැක්වීම සඳහා යොදා ඇති බාධකය නිරීක්ෂණය කිරීම සඳහා අද පැමිණි අවස්ථාවේදියි.

මේ අතර, විනාශ වූ නෞකාවෙන් මුහුදට එක්වූ අපද්‍රව්‍ය හේතුවෙන් තම දැල් විනාශ වී ඇති බවට උස්වැටකෙයියාව, තල්දියවත්ත, ලුනාව ප්‍රදේශවල ධීවරයින් ප්‍රකාශ කළා.

මේ අතර ගින්නෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද, උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.