ලුණු හිඟයක් නැහැ – බියක් ඇතිකර නොගන්නැයි ඉල්ලීමක්
රට තුළ කිසිදු අවස්ථාවක ලුණු හිඟයක් ඇති නොවන බවට තමන් සහතිකයක් ලබාදෙන බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ යළිත් අවධාරණය කරනවා.
එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මුහුදු ජලයට රසායනික ද්‍රව්‍ය එක්වීම නිසා මෙරට ලුණු නිෂ්පාදනයට බාධාවක් නොවන බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත් ලුණු නිෂ්පාදනයට නෞකාවෙන් ඇතිවූ ගින්නෙන් බලපෑමක් එල්ලවන බවට සමාජයේ විවිධ මත ප්‍රචාරය වීමත් සමඟ පසුගිය දින දෙක තුළම පාරිභෝගිකයන් වැඩි වශයෙන් ලුණු මිලදී ගැනීමට පෙළඹුණු බවට වාර්තාවුණා.
ඊයේ දිනයේදීත් අලුත්ගම, බේරුවල ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා මැද බලපත්‍ර සහිතව විවෘත කර ඇති වෙළඳසැල් වෙත පාරිභෝගිකයින් ලුණු මිලදී ගැනීම සඳහා පැමිණ ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
එහෙත් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේ රට තුළ කිසිදු ලුණු හිඟයක් නොමැති අතර, ඒ සඳහා අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි.