ඇමරිකානු කොංග්‍රස් සභාවට ගෙනා, යෝජනාවට ලක් රජයේ විරෝධය

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරියක් ඩෙබොරා කේ. රොස් විසින් එරට කොංග්‍රස් සභාව වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට ලක් රජය විරෝධය පළ කරන බව විදේශ අමාත්‍යාංශය සදහන් කළා.

තවත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සමග එක්ව පසුගිය 18 වන දා ඇය විසින් ඉදිරිපත් කළ එම යෝජනාවේ සනාථ නොකරන ලද අසත්‍ය කරුණු අඩංගු වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දුන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

යෝජනාවේ ඒකපාර්ශවීය ස්වභාවය පිළිබද සලකා බැලීමේදී එය මානව හිමිකම් යෝජනාවක් නොවන බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.

ඇමරිකාව ඇතුළු රටවල් 32ක තහනම් කර ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා කොංග්‍රසය තුළ සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදී කල්ලියකගේ බලපෑම මත මෙය ගෙන එන ලද්දක් බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව ඉදිරියේදී ලක් රජයේ ප්‍රතිචාරය කොංග්‍රස් සභාවේ විදේශ කටයුතු කමිටුවට සහ එම සභාවේ ආසියාව පිළිබද අනු කමිටුවේ නියෝජිතයින් වෙත මෙන්ම කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කරන බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.