බේරුවල-ගාලු වරායන්වල මාළු කිලෝ ලක්ෂ 3 1/2ක් හිරවෙලා

මාළු කිලෝ තුන් ලක්ෂ පනස් දහසක් දැනට වසා දමා ඇති බේරුවල ධීවර වරායේ බහුදින යාත්‍රා 32ක හා ගාල්ල ධීවර වරායේ බහුදින යාත්‍රා 21ක තිබෙන හෙයින් එම මාළු තොග පාරිභෝගිකයා අතට පත් කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ මත කඩිනම් සැලසුමක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබේ.

උද්ගතව ඇති කොවිඩ්-19 උවදුර හමුවේ ගාල්ල, බේරුවල, වාලච්චේන ධීවර වරායන්ද පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙඳ සලද වසා දමා ඇති නිසා මෙරට ධීවර කර්මාන්තයද බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යෑමට සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සකසන ලෙසට සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ධීවර කාර්මිකයන්ට හා පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය ඇමැතිවරියගේ හා ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (24දා) සාකච්ඡාවක් පවත්වා තිබේ.

රට පුරා ඇති ධීවර වරායන් 20 තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දියත් කිරීම ගැනද මෙහිදී අවධානය යොමු කර තිබේ.

මීට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ධීවර අමාත්‍යාංශය හරහා ධීවර වරායන් වෙත නිකුත් කරන ලෙසට සෞඛ්‍ය ඇමැතිවරිය සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ වෙත උපදෙස් දී තිබේ.

ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.අයි. රත්නායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රී ධරන්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.