වැඩි වූ ඉන්ධන මිල යළි සංශෝධනය, හෙට කැබිනෙට්ටුවට
වැඩි වූ ඉන්ධන මිල යළි සංශෝධනය හෙට රැස්වන කැබිනට් මණ්ඩලයේදී සලකා බැලීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
ඒ, ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශව රැසකින් එල්ල වී ඇති විරෝධතා සැලකිල්ලට ගනිමින්.
අමාත්‍ය මණ්ඩලය හෙට පස්වරු පහට රැස්වීමටයි නියමිතව ඇත්තේ.
පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කළා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 07කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ ගියා.
ඊයේ දහවල් වනවිට වාර්තා වූයේ ආණ්ඩුවේම පාර්ශව මෙම ඉන්ධන මිල වැඩි වීම යළි සංශෝධනය කරන ලෙස ඉල්ලීම් කර ඇති බවයි.
එවැනි පසුබිමක ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.
දැනට ඉදිරිපත් වී ඇති අදහස් සියල්ල හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ.
මීට පෙර අමාත්‍ය මණ්ඩලය ඉන්ධන මිල වැඩි කිරීමට අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා පළ වුණා.
කෙසේ වෙතත්, ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසන්නේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන අලාභය සැලකිල්ලට ගනිමින් ඉන්ධන මිල ඉහළ දැමීමට යෝජනාවක් ඉදිරිපත් වූ බවයි.
එම යෝජනාව මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක කිරීම සුදුසු නොවන බව අමාත්‍ය මණ්ඩලයේදී කතාබහට ලක්වූ බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, විෂය භාර අමාත්‍යවරයාගේ වගකීමට යටත්ව එය සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුව එකඟ වී තිබෙනවා.
ඉන්ධන මිල වැඩි කිරීමෙන් පසු ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වූ සංවාදය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කළා.
එහි සඳහන් වුණේ ජනතාව අසීරුතාවට පත්වූ මොහොතක ඉන්ධන මිල වැඩි කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගත් තීරණයට ඔහු ඍජුව වගකිව යුතු බවයි.
එවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව වගකීම භාරගෙන ඔහු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද අදාළ නිවේදනයේ සඳහන් වුණා.
මේ අතර, පොදුජන පෙරමුණේ මෙම චෝදනාවලට පිළිතුරු දීම සඳහා ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.