216කට මරණ දඬුවම ලිහිල් කරයි… LTTE 17කටත් නිදහස…
පොසොන් පොහොය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව සිරකරුවන් 17 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දීමට නියමිත බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.
මීට අමතරව වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් විඳින මරණීය දණ්ඩනය නියම වී වසර 20කට වඩා සිරගත වී සිටින සිරකරුවන් 216 දෙනෙකුට එම මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා ක්‍රියාත්මක කෙරෙන සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
LTTE සංවිධානයේ සාමාජිකයන් ලෙස කටයුතු කිරීම නිසා මෙම පිරිස වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් ලබමින් සිටින බවද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.
ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන කාරණාවලට හිමි දඬුවම් කාලයටත් වඩා වැඩි කාලයක් එම පිරිස සිර දඬුවම් විඳිමින් සිටින බවත් මෙම කරුණු ගැන අවධානය යොමුකොට ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව මෙම පිරිසට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වැඩිදුරටත් ප්‍රකාශ කරයි.