සිංහරාජය හරහා ඉදිකරන ලංකාගම මාර්ගය ගැන යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලය කරුණු විමසයි

සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව ඉදිකෙරෙන නෙළුව – ලංකාගම මාර්ගය සම්බන්ධයෙන් යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයෙන් කරුණු විමසා තිබේ.

යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලය සිය වෙබ් අඩවියේ පළ කර ඇති ලිපියක දැක්වෙන්නේ, සිංහරාජ වැසි වනාන්තරය හරහා කොන්ක්‍රීට් මාර්ගයක් ඉදි කරන බවට ලැබුණු පැමිණිලි විශාල සංඛ්‍යාවක් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම ලිපියෙහි දැක්වෙන්නේ, අදාළ මාර්ගය ඉදිකිරීමෙන් සිංහරාජ වනාන්තරයේ විශ්වීය වටිනාකමට ඍණාත්මක බලපෑමක් එල්ල වනු ඇතැයි පෙනී යන බවය.

අත්හිටුවා තිබූ මෙම මාර්ගයේ ඉදිකිරීම් ජනාධිපතිවරයාගේ නියෝග මත යළිත් ආරම්භ කර ඇතැයි ද එහි සඳහන් වේ.

අදාළ විවෘත ලිපියෙහි දැක්වෙන්නේ, 1972 වසරේ අත්සන් තබන ලද ලෝක සංස්කෘතික සහ ස්වාභාවික උරුම ආරක්ෂා කර ගැනීමේ සම්මුතිය අනුව සෑම රටක් ම ලෝක සංස්කෘතික සහ ස්වාභාවික උරුම ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීමට බැඳී සිටින බවය.

යුනෙස්කෝ සංවිධානය පවසන්නේ, ශ්‍රී ලංකාවේ පිහිටි එක ම ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරය සිංහරාජ වනාන්තරය බවය.

එහි ඇති වෘක්ෂලතා අතරින් 60%ක් ශ්‍රී ලංකාවට ආවේණික ශාක බවය. තවත් විශාල සංඛ්‍යාවක් දුර්ලභ ගණයේ ශාක වේ. ඊට අමතරව, ශ්‍රී ලංකාවට ආවේණික ක්ෂීරපායී සතුන්, සමනලුන්, පක්ෂීන්, කෘමීන්, උරගයින් සහ දුර්ලභ උභයජීවීන් ද විශාල සංඛ්‍යාවක් එහි වාසය කරයි.

ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් කර කරුණු සොයා බලා වාර්තා කරන ලෙස ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ ආයතනයට දැනුම් දී තිබේ.

සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව දිවෙන නෙළුව – ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු පරිසරයට හානි නොවන ආකාරයට සිදු කරගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට මාස දෙකකට පමණ පෙර නියෝග කළේය.

ඒ, නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේදී සිංහරාජ වන රක්ෂිතයට හානි වන බවට එල්ල වෙමින් පැවති චෝදනාවල සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසීමට ඔහු නෙළුව ලංකාගම ප්‍රදේශයේ චාරිකාවක නිරත වීමෙන් පසුවය.

සිංහරාජ වන රක්ෂිතය හා මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ඇති ජනතාවගේ දැඩි අවශ්‍යතාවක් වන මාර්ගයේ ඉදිකිරීම් කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී.

කි.මි 18ක දුර ප්‍රමාණය තෙමසක් තුළ නිම කිරීමට උපදෙස් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මාර්ගයේ ප්‍රතිසංස්කරණ නිමවීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට කෙටි වනු ඇත.

ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපතිතුමා තරයේ අවධාරණය කළේය.

ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමටද තීරණය කෙරිණ.

ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 06කින් යුත් පාලමක් ඉදිකිරීම ද සමගාමීව සිදු කෙරේ. වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධකය ඉන් ඉවත් කෙරේ.