බැසිල් ලබන 08 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ලබන 08 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. 06 වැනිදා දිවුරුම් දෙන බවට මීට පෙර වාර්තා වූ නමුත් ඔහුගේ නිරෝධායන කාලසීමාව අවසන්වීමට නියමිතව තිබෙන්නේද 06 වැනිදායි.
බැසිල් රාජපක්ෂ මහතාට අවස්ථාව ලබාදීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී, ආචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන තනතුර සඳහා බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ඇත.
රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් සැනින් ඔහුට කැබිනට් අමාත්‍යධුරයක් හිමිවීමටද නියමිතය. ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ ප්‍රතිපත්ති සම්පාදන, මුදල් හා ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි.
මේ අතර මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන රංජිත් බණ්ඩාර මහතාට බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශයේ ලේකම් තනතුර ලබාදීමට යෝජනා කර ඇති අතර ඒ සඳහා ඔහු එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මීට පෙර වාර්තා වූයේ රංජිත් බණ්ඩාර මහතා මහ බැංකු අධිපති ධුරයට පත් කිරීමට නියමිත බවයි.
බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය මන්ත්‍රී ධුරය පරිත්‍යාග කිරීමට රංජිත් බණ්ඩාර මහතාට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඉදිරිපත්ව සිටින බවද පසුගිය දිනවලදී වාර්තා වී තිබිණි.