සෞදියෙන් පිටවන ලාංකික සංක්‍රමණික සේවකයන්ට සහනයක්

පිටවී යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා සහනයක් ලෙස ඔවුන්ගෙන් කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි බලධාරීන් තීරණය කර තිබේ.

වීසා වලංගු කාල සීමාව තුළ දී Covid-19 ගෝලීය වසංගතය හේතුවෙන් සවුදි අරාබි රාජධානියෙන් පිටවීමට නොහැකි වූ ඕනෑම ආකාරයක වලංගු හෝ කල් ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක්, නැවත ඇතුල්වීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයෙකුට, පිටත්ව යන විට දී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය කිරීමෙන් තොරව ගුවන් තොටුපළවල විගමන ස්ථාන හරහා එරටින් පිටවීමට අවසර දීම සඳහා සවුදි අරාබි රජය ඉදිරිපත් වී සිටින බව නිවේදනයක් නිකුත් කරන මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙය Covid-19 ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන තත්වයන් සැලකිල්ලට ගනිමින් එම රජය විසින් ගනු ලැබූ තාවකාලික පියවරක් බව එහි දැක්වේ.

මෙම තීරණය දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවන්හි ප්‍රතිඵලයක් වන බවත්, Covid-19 ගෝලීය වසංගත සමය තුළදී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා වූ සුභසාධන ක්‍රියාමාර්ගවලට පහසුකම් සැපයීමට සහය ලබාදීම පිළිබඳව සවුදි අරාබි රජයට ස්තූතිය පළ කරන බවද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.