එංගලන්තයෙන් පිටමං කළ ක්‍රීඩකයින් විශේෂ විනය කමිටුවක් හමුවට

එංගලන්ත සංචාරය අතරතුර විනය විරෝධීව හැසීරම හේතුවෙන් සංචාරය අතරතුරදී කණ්ඩායමෙන් පිටමං කර මෙරටට හරවා එවු ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

තරග සංචාරය අතරතුරදී ජෛව බුබුළෙන් මිදි එංගලන්තය ඩරම් නගරයේ රාත්‍රී කාලයේ වීථි පුරා සැරිසැරු ශ්‍රී ලංකා කණ්ඩායාමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනා මෙලෙස ලංකාවට හරවා එවනු ලැබුවා.

මෙම ක්‍රීඩකයින් මේ වනවිට දින 14ක නිරෝධායන කාලයක් ගත කරනුයේ, මීගමුව ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයකයි.

මොවුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විනය පරීක්ෂණය සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල හෝ පංච පුද්ගල විශේෂ විනය කමිටුවක් පිහිටුවීමට සූදානම් වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

එම විශේෂ විනය කමිටුව පිහිටුවීමට පිළිබඳව අවසන් තීරණය එළඹෙන විධායක කමිටු රැස්වීමේදී ගැනීමට නියමිතයි.

මෙම ක්‍රීඩකයින් හට බරපතල විනය ක්‍රියාමාර්ගයක් ගත යුතු බව  ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මඩුල්ලේ, තීරණයවී ඇති බවයි, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර එළඹෙන ජූලි මස 8 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි.

මෙම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි වැඩපිළිවෙල සහ විශේෂයෙන් ක්‍රීඩක විනය පිළිබඳව සාකච්ඡාවට ගැණෙනු ඇති.