ඔස්ට්‍රේලියා මහකොමසාරිස් සහ විපක්ෂ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විපක්ෂ නායකවරයා ප්‍රකාශකර ඇත්තේ මෙම සාකච්ඡාවේදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා වූ බවයි.

බරපතල ව්‍යවසනයක්ව පවතින කොරෝනා උවදුර පිළිබඳව ද අවදානය යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රගතිය වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසට මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට ඔහුගේ විශේෂ අවධානයක් යොමුවූ බවයි සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දශක 7කට වැඩි සම්බන්ධතාව පිළිබඳව ද මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී විපක්ෂය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ඔස්ට්‍රේලියා මහකොමසාරිස්වරයා දැනුවත් කළ අතර මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කෙරුණා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම් කටයුතු සඳහා ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වූ අතර රට පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගතය මර්දනය කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගය විපක්ෂ නායකවරයා තවදුරටත් ඉල්ලා සිටියා.

එමෙන්ම මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය කරන ඔක්සිජන් ධාරිතාව ඉහළ නැංවීමේ වැඩසටහනකට ඔස්ට්‍රේලියා රජයේ සහයෝගය ලබාදිය හැකි ආකාරයත් ඒ සම්බන්ධයෙන් පුළුල් ක්‍රියාකාරීත්වයක් සහිතව ප්‍රවිෂ්ඨ වීමේ හැකියාවත් ඔස්ට්‍රේලියා මහකොමසාරිස් ඩේවිඩ් හොලි අවධාරණය කළා.