රිෂාඩ්ගේ පෙත්සමෙන් හතරවන විනිසුරුත් ඉවත්වෙයි
තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් හතර වන වතාවට තවත් විනිසුරුවරයෙකු ඉවත් වී තිබෙනවා.
මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා මුර්දු ප්‍රනාන්දු, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවයි. ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම මේ මස 08 වනදා සලකා බැලීමට දින නියම කෙරුණා.
මෙම පෙත්සම සලකා බැලීම සඳහා මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනක් ද සිල්වා, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනා අවස්ථා තුනකදී පුද්ගලික හේතූන් මත පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වී තිබුණා.
පෙත්සම්කරුවන් කියා සිටියේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් අප්‍රේල් මස 24 වනදා අලුයම තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවා සිටින බවයි.
මේ තුළින් සිය මූලික අයිතින් උල්ලංඝණය වී ඇති බවට තීන්දු කොට තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.