හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට බැසිල් පත් කිරීමට අදාළ ලිපිලේඛන භාර දෙයි

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නම් කිරීමට අදාළ ලේඛන මැතිවරණ කොමිසමට අද පස්වරුවේ භාර දී තිබෙනවා.

ඒ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා හෙට පෙරවරු 9ට මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂගේ නම ගැසට් කෙරෙනු ඇති.

ඒ අනුව පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අසුනට බැසිල් රාජපක්ෂ පත් කෙරෙනු ඇති.

දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අනිද්දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිත බවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉවත්විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වුණා.

ෆලිල් මර්ජානා, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ නම් ඒ සඳහා යෝජනා  වී තිබුණා.

ජයන්ත කැටගොඩ 2000 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, ඔහුට 2011 වසරේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමිවුණා.

පසුගිය වසරේ පැවති මහ මැතිවරණයේදී ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් පවතින බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දිය යුතු වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක අදාළ පුරප්පාඩුව සම්බන්ධයෙන් අද පෙරවරුවේ මැතිවරණ කොමිසම සභාපතිවරයාට ලිඛිත දැනුම්දීම සිදුකර ඇති බවයි.