ගම්මන්පිලට එරෙහි විස්වාසභංගයට පෙරම සභාව උණුසුම් : ආණ්ඩු පක්ෂයෙන් විරෝධය

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විස්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. විවාදය පිළිබඳව යෝජනාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සභාවට ඉදිරිපත් කළ අතර එම යෝජනාව කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් ස්ථිර කළේය.

කෙසේ නමුත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා රීති ප්‍රශ්නයක් යොමු කරමින් පෙන්වා දුන්නේ මරික්කාර් මන්ත්‍රීවරයා විවාදය පිළිබඳව යෝජනාව ඉදිරිපත් කළ නමුත් විස්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකළ බවයි. ඒ අනුව ස්ථිර කිරීමට‍ යෝජනාවක් නොමැති බවත් විවාදයට ගැනීමට යෝජනාවක් නොමැති බවත් සභානායකවරයා පෙන්වා දුන්නේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන් අනතුරුව මරික්කාර් මන්ත්‍රීවරයාට විස්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කතානායකවරයා විසින් අවස්ථාව ලබාදුන් අතර කෙසේ නමුත් ඊට ආණ්ඩු පක්ෂයෙන් විරෝධය එල්ල විය. විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග ඇමතිවරුන් රීති ප්‍රශ්න මතුකරමින් සඳහන් කළේ එකම මන්ත්‍රීවරයෙකුට දෙවරක් අවස්ථාව ලබාදිය නොහැකි බවයි.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර උණුසුම්කාරී තත්වයක් ඇති වූ අතර තත්වය සමනය කරමින් නැගී සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ සිදු වූ අතපසුව අමතක කරමින් යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා මරික්කාර් මන්ත්‍රීවරයාට අවස්ථාව ලබාදීමට ආණ්ඩු පක්ෂය සූදානම් බවයි.