හිෂාලිනීගේ මළසිරුර යළි ගොඩ ගැනීමට යයි
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සීමෙන් මියගිය දැරියගේ මළසිරුර ලබන 30 වැනිදා යළි ගොඩ ගැනීමට නියමිත අතර පශ්චාත් මරණ පරීක්ෂණයද යළි සිදු කිරීමට නියමිතය. ඩයගම ප්‍රදේශයේ මිහිදන් කර ඇති ඇයගේ මළසිරුරු ගොඩගැනීම අදාල ප්‍රදේශයේ මහේස්ත්රාත්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවන බවයි වාර්තා වන්නේ.
මළසිරුර මිහිදන් කර ඇති ස්ථානය සඳහා දින කිහිපයක් තිස්සේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා.
මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා අධිකරණය විසින් විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ සහ නීතිපතිවරයාගේ නිර්දේශය මත මෙම කණ්ඩායම නම්කර තිබේ. ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෛද්‍ය ජීන් පෙරේරා, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන විශේෂඥයන් ඇතුළත් වේ.
මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් කණ්ඩායම් දෙකක් මේ වනවිටත් ඩයගම ප්‍රදේශයේ සිය විමර්ශන කටයුතු සිදු කරන අතර ඊයේ දිනයේදී දැරියගේ මවගෙන් සහ පියාගෙන් යළිත් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.