ඉෂාලිනීගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මිය ගිය බාලවයස්කාර දැරියගේ සිරුර අධිකරණ නියෝගය මත (30) නැවත ගොඩ ගැනීමෙන් පසුව දෙවන අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් රැකවරණ මැද රැගෙන යාමට පොලීසිය පියවර ගන්නා ලදි.

නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරී මහත්මිය ඉදියේදී මළසිරුර මෙසේ ගොඩ ගැනීමට පියවර ගෙන තිබු අතර සිරුර ගොඩ ගන්නා අවස්ථාවේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් රැසක්ද එක්ව සිටියහ.

ගොඩ ගන්නා ලද දැරියගේ මුද්‍ර තබන ලද සිරුර බහාලු පෙට්ටියේ මුද්‍ර කඩා දැරියගේ සිරුර දෙමාපියන්ට පෙන්වා හඳුනා ගැනීමෙන් අනතුරුව යලි මුද්‍ර තබා මෙසේ දැඩි පොලිස් රැකවරණ මැද රැගෙන යාමට පොලීසිය පියවර ගෙන තිබිණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

හිටපු අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි දරුණු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කොට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත් වුයේ ආගරපතන, ඩයගම වතුයායේ පදිංචිව සිටි ඉෂාලිනී ජුඩ් කුමාර (16) නැමැති බාලවයස්කාර දැරියකි.

ඇගේ සිරුර ඩයගම වතුයායේ තුන්වන කොටසේ පොදු සුසාන භූමියේ මිහිදන් කොට තිබු අතර දැරියගේ සිරුර ගොඩ ‌ගෙන නැවත අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව මෙසේ සිරුර යළි ගොඩගැනීමට පියවර ගැණිනි.

දැරියගේ දේහය යලි ගොඩ ගැනීම දැක බලා ගැනීමට ඩයගම ප්‍රදේශය හා වෙනත් ප්‍රදේශවල වතු කම්කරුවන් විශාල පිරිසක් මිහිදන් කොට තිබු ඩයගම පොදු සුසාන භූමියට උදෑසන සිටම පැමිණි සිටිනු දක්නට ලැබිණි.