කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාව ඉහළට – මියයන පුද්ගලයින්ගෙන් 60%ක් එන්නත් ලබානොගත් අය බව හෙළිවෙයි
පළමු කොරෝනා රැල්ලේ සිට මේ දක්වා කාලය තුල ගර්භනී මව්වරුන් 2,404 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කළා.
මේ අතර, මෙරට කොරෝනා එන්නත්කරණයේ නව වාර්තාවක් පිහිටුවමින් ඊයේ දිනයේදී පුද්ගලයන් 515,830 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදීම පිළිබඳව ප්‍රසාදය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එමගින් ජනාධිපතිවරයා ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවල කැපවීම අගය කළ යුතු බවයි ප්‍රකාශ කළේ.
සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිශක්තිකරණය සහතික කිරීම සඳහා එක්ව කටයුතු කරන බවත් සියල්ලන් සඳහාම එන්නත් සූදානම් බවත්, ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩය මගින් අවධාරණය කළා.
පන්ලක්ෂයකට වැඩි පිරිසක් එන්නත් කරමින් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලක් රජය දිරිගන්වන සුළු සන්ධිස්ථානයකට පැමිණ ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව මගින් ද සුබ පැතුම් එක් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.
මේ අතර, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කොළඹ අද පවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් 60% ක් කිසිදු එන්නතක් ලබානොගත් පුද්ගලයින් බවයි.
කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගීන් රෝහල් ගත වීම ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළා.
පූර්ණ එන්නත්කරණය සිදුකළ පුද්ගලයින් තවදුරටත් මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අවශ්‍ය බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියා.