ඩෙල්ටාවෙන් ගැලවීමට මාත්‍රා 2ම අවශ්‍යයි – ඩෙල්ටා වේගවත් සහ බරපතලයි : ආචාර්ය චන්දිම ජීවන්දර

වේගවත් පැතිරීමක් ඇති සහ බරපතළ සංකූලතා මතු කරවන ඩෙල්ටා කොරෝනා වෛරසයෙන් බේරීමට නම් එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යෙන්ම ලබා ගත යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ඇස්ට්‍රාසෙනිකා සහ කොවිෂීල්ඩ් යනුවෙන් හැඳින්වෙන්නේ එකම එන්නත බවත් කිසිදු බියක් සැකක් නැතුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගන්නා ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා අවධාරණය කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගෙන මාස දෙකක් නොව මාස පහක් ගත වුවත් දෙවැනි මාත්‍රාව අනිවාර්යෙන්ම ලබාගත යුතු බව පැවසූ ජීවන්දර මහතා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් අයගේ ප්‍රතිශක්ති පද්ධතිය ආශ්‍රිතව මතක සෛල සැළකියුතු ලෙස ගොඩනැංවී ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති හෙයින් එසේ ප්‍රමාදවී හෝ දෙවැනි මාත්‍රාව ලබා ගත්තද ප්‍රතිදේහ ගුණනය හොඳින් සිදුවනු ඇති බවත් ප්‍රකාශ කළේය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් අයගේ කාර්යක්ෂම ප්‍රතිදේහ සති දහසයක් යන විට සියයට 26 කින් පමණ අඩු වී පැවතුණද නැවත ප්‍රතිදේහ ගුණනයට අවශ්‍ය කෙරෙන මතක සෛල හොඳින් වර්ධනය වී ඇති බව එම පරීක්ෂණවලදී පෙනී ගියේ යැයිද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

රෝගීන් වැඩිවෙන්න හේතුව ඩෙල්ටා?

රෝගීන්ගේ වැඩිවීමට හේතුව ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය පැතිරීම බව බොහෝ දුරට විශ්වාස කළ හැකි යැයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය .

මේ අතර ඔක්සිජන් අවශ්‍ය කොරෝනා රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යෑමක් දක්නට ඇති බවත් විශේෂයෙන් බස්නාහිර පළාතේ රෝහල්වල මේ තත්වය කැපී පෙනන බවත් හෙතෙම සඳහන් කළේය.

ඩෙල්ටා පැපොල වගේ

කොවිඩ් – 19 කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැපොල රෝගය මෙන් ඉතා වේගයෙන් බෝවන, බරපතල රෝගාබාධ ඇති කරන වයිරස විකෘතියක් යැයි ඇමෙරිකාවේ වසංගත රෝග මර්දනය සහ ව්‍යාප්තිය පාලනය කිරීමේ ඒකකය අනතුරු අඟවයි.

මේ වනවිට ඇමෙරිකාවෙන් යළිත් වරක් කොවිඩ් – 19 ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇත්තේ ඩෙල්ටා’ විකෘතියේ ව්‍යාප්තිය හේතුවෙනි.

ඇමෙරිකාවේ මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රධානතම කොවිඩ් – 19 වයිරස විකෘතිය ලෙස ඩෙල්ටා සැලකිය හැකි යැයි ඇමෙරිකාවේ වසංගත රෝග මර්දනය සහ ව්‍යාප්තිය පාලනය කිරීමේ ඒකකය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.