ගෝලීය උණුසුම ඉහළ යෑම වැළැක්වීමේ පියවර පමා කළ නොහැකියි

මිහිතලය උණුසුම් වීමෙන් මිනිසාගේ සෞඛ්‍යයට දැනටමත් විශාල හානියක් සිදුවන අතර, කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් එය වැළැක්වීමට ගනු ලබන පියවර පමා කළ නො හැකි බව ලොව පුරා විද්‍යාඥයින් රැසක් පෙන්වා දෙනවා.

සුප්‍රකට ලැන්සෙට් ඇතුළු විද්‍යා සඟරා 230කට අධික සංඛ්‍යාවක ඔවුන් මෙලෙස අදහස් දක්වා ඇත්තේ, නොවැම්බරයේ පැවැත්වෙන ගෝලීය කාලගුණ සමුළුවට පෙරවදනක් ලෙස යි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වනවිට පූර්ව කාර්මිකකරණ යුගයට වඩා මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1යි දශම 1කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, පසුගිය විසි වසර තුළ වයස අවුරුදු 65ට වැඩි වයස් කාණ්ඩයේ අයගේ, උණුසුමේ බලපෑමෙන් සිදුවන මරණ 50% කින් ඉහළ ගොස් ඇති බව යි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

දැඩි උණුසුමෙන් විජලනය මෙන්ම වකුගඩු ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල වන අතර, මානසික සෞඛ්‍යය, ගර්භණීභාවයේ දී ඇතිවන සංකූලතා ඇතුළු මිනිසාගේ සෞඛ්‍යයට දැනටමත් විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා.

වසර 2030 වනවිට මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1යි දශම 5කින් ඉහළ යා හැකි අතර, එහි බලපෑම අවම කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව යි එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.