ආණ්ඩුවේ මුදල් පනත් කෙටුම්පත පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රකාශයක්
සමහර ධන කුවේරයින්ට, ජාවාරම්කාරයින්ට සහන දෙමින් ආණ්ඩුව ලුම්පත් ධනවාදයට පාර කපනවා.
ආණ්ඩුවේ මුදල් පනත් කෙටුම්පත පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රකාශයක්.
මේ මොහොතේ රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තියා ඇති බවත් ,ඒ හරහා ජාවාරම් කාරයින්ට තමන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කරගැනීමට හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07) පැවසීය.
කිසිවෙක් බදු නොගෙවා සඟවාගෙන සිටිනවා නම් රජය කළ යුත්තේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවත් ඕනෑ තරම් ප්‍රතිපාදන ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා,ඒ වෙනුවට ආණ්ඩුව සිදු කරන්නට උත්සාහ කරන්නේ 1% තරම් වූ සොච්චම් ප්‍රතිශතයකට, ජාවාරම්කාරයන්ට සහ සමහර ධන කුවේරයින්ට බදු සහන සලසා දීමට කටයුතු කිරීම යැයි ද පැවසීය.
ආණ්ඩුව මෙයින් උත්සාහ කරන්නේ ලුම්පන් ධනවාදයට රට තුළ ඉඩක් සලසා දෙමින් සමාජ සාධාරණත්වය උල්ලංඝනය කිරීමට බව පැවසූ විපක්ෂ නායකතුමා ,අසාධාරණ ලෙස ධනය උපයා ගෙන බදු මුදල් සඟවාගෙන සිටින ජාවාරම්කාරයන්ට මේ පනත හරහා රැකවරණය සැලසෙන බවද පැවසීය.
ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙතට සමගි ජන බලවේගයත් විපක්ෂයත් තරයේම විරුද්ධ වන බවද ඒ මහතා පැවසීය.