ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 01 වන විස්සයි  විස්ස තරගය අද රාත්‍රීයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගය රාත්‍රී 8ට ආරම්භ වෙන බව කලින් ප්‍රකාශ වූව ද, එය ආරම්භ වන්නේ රාත්‍රි 07ට බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් පසුව නිවේදනය කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව කාසියේ වාසිය උරගා බැලීම පස්වරු 6.30ට සිදුවෙනු ඇති.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ පැවැත්වෙන තරඟ 03කින් යුත් මෙම තරගාවලිය කණ්ඩායම් දෙකට ම ඒ සඳහා පෙරහුරුවක් ලෙස වැදගත් වෙනවා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා පිල විස්සයි විස්ස ලෝක කුසලානය අරඹන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියක්.

දකුණු අප්‍රිකාවට එරෙහි ව අදින් ඇරඹෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා ද එක්වනු ඇතැ යි අපේක්ෂිත යි.

කායික ආබාධයකට ලක් ව සිට පසු ව කොරෝනා ආසාදිත වීම නිසා ඔහු එක්දින තරගාවලියට එක්වූයේ නැහැ.

දේශීය විස්සයි විස්ස තරගාවලියේ දී දස්කම් දැක් වූ කමිඳු මෙන්ඩිස් අංක තුනේ ක්‍රීඩකයා ලෙස කණ්ඩායමට එක්වනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා.

පසුපෙළ පිතිකරණය ශක්තිමත් කිරීම සඳහා දඟ පන්දු යවන්නෙකු මෙන්ම තුන් ඉරියව්වෙන් ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමට එක්කිරීම පිළිබඳව ද අවධානය යොමුවෙනු ඇති.

එමෙන්ම, අද තරගයේදී ද ශ්‍රී ලංකා පිලේ නව අජන්ත මෙන්ඩිස් නැතිනම් සිය මංගල එක්දින තරගයේදී ම දස්කම් දැක් වූ මහීෂ් තීක්ෂණ පිළිබඳ ව සියල්ලන්ගේ බලාපොරොත්තු පළ වෙනවා.

දකුණු අප්‍රිකානු පිල කේෂව් මහාරාජ් විසින් මෙහෙයවනු ඇතැ යි අපේක්ෂිත යි.