අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන තීරණය සතියක් තුළ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් සිදුනොකිරීම හේතුවෙන් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ගුරු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමට නොහැකි වී ඇති  බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති අතර ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලින් ඉවත් වීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ, ප්‍රතිඵල ප්‍රමාද වී ඇත්තේ ගුරු වර්ජනය නිසා නොව කොවිඩ් වසංගතය හේතුවෙන් බවය.

මේ වන විට රජය විසින් ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු එකතු නොකර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ සුදානම් ඇති බව ද ඒ මහතා පැවසීය.