කෝටි දෙකක කොරෝනා පරීක්ෂණ කට්ටල තොගයක් අල්ලයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නො කර මෙරටට රැගෙන ආ රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමකින් යුත් කොරෝනා පරීක්ෂණ කට්ටල 6000ක තොගයක් සොයා ගැනීමට එම අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් සමත් වී තිබෙනවා.
මෙවැනි පරීක්ෂණ කට්ටල නාරාහේන්පිට ප්රදේශයේ රසායනාගාර තුළ පවතින බවට ලද තොරතුරකට අනුව ඔවුන් පළමුව අදාළ රසායනාගාරය පරීක්ෂාවට ලක් කළා.
ඉන් අනතුරුව යි ඒවා බෙදා හැරීම් සිදු කළ බව කියන ඖෂධ ආනයන සමාගමක කොළඹ – මෝදර ප්රදේශයේ පිහිටි ගබඩාවක් පරීක්ෂා කර ඇත්තේ.
එහි තිබී මෙම පරීක්ෂණ කට්ටල 6000ක තොගය සොයාගෙන ඇති අතර, මේවා කොරියාවේ නිෂ්පාදිත කොරෝනා පරීක්ෂණ කට්ටල බවට අනාවරණ වී තිබෙනවා.
මෙලෙස ලියාපදිංචි නො කළ කොරෝනා පරීක්ෂණ කට්ටල වෙළඳපොළේ තිබේ ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.