සුරාසැල් විවෘත කිරීම ගැන වෛද්‍යවරුන්ගේ විරෝධය

ඊයේ (17) පස්වරුවේ මෙන් අද (18) පෙරවරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසක මත්පැන් අලෙවිසැල් විවෘත කර තිබූ ආකාරයක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මෙලෙස මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට විරෝධය පළ කරන බවයි වෛද්‍යවරු කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊයේ දිනයේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමත් සමඟ රාත්‍රිය වනතුරුම එම අලෙවිසැල් ඉදිරිපිට නිරෝධායන නීති කිසිදු ගණනකට නොගනිමින් දිගු පෝලිම් දක්නට ලැබුණා.

සුපිරි වෙළඳසැල්වලද මත්පැන් අලෙවිසැල් විවෘත කර තිබූ අතර, ඒවායේද දක්නට ලැබුණේ දිගු පෝලිම්.

වවුනියාව ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ ඒවා වසා දැමීමට පියවර ගත්තා.

එහිදී මත්පැන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ බවයි වාර්තා වුණේ.

මත්පැන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවට වාර්තා වුව ද මත්පැන් අලෙවිසැල් විවෘත කළ පුද්ගලයින් හෝ ඊට අවසර ලබාදුන් පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක වූ බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

එසේම අද දිනයේත් ප්‍රදේශ කිහිපයක මත්පැන් අලෙවිසැල්වලට මත්පැන් ගබඩා කිරීම සඳහා ලොරි රථ පැමිණ තිබූ ආකාරයක්ද දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට අප කිහිපවිටක් උත්සාහ කළ අතර, එහි වගකිවයුතු නිලධාරීන් දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

කෙසේ වෙතත් ඊයේ සුරා බදු දෙපාර්තමේන්තුව කියා සිටියේ අලෙවිසැල් විවෘත කිරීමට තම දෙපාර්තමේන්තුව අවසර ලබාදී නොතිබුණු බවයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ මෙලෙස මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම හරහා යළි කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේද කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාව පළ කළා.