උතුම් බිනර පෝය දිනය අදයි
භික්ෂුණී සසුන ඇරඹුණු උතුම් බිනර පෝය දිනය අදට යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය, රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ගේ භාර්යාවන් 500 දෙනා සමඟ කෙස් සිඳ, කසාවත් හැඳ කිඹුල්වත්පුරයේ සිට පා ගමනින්ම විශාලා මහනුවරට පැමිණියාය.
අනඳ හිමියන්ගේ මාර්ගයෙන් කාන්තාවන්ට සසුන් පැවිද්ද දෙනලෙස ඉල්ලා සිටියහ. අනඳ හිමි බුදුරජාණන් වහන්සේ ට මේ බව සල කළ ද, උන්වහන්සේ තෙවරක්ම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.පසුව අනඳ හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත වීය.
පැවිද්ද අවශ්‍යනම් අෂ්ඨගරු ධර්ම පිළිගත යුතුය. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
අෂ්ට ගරු ධර්ම
01 උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උපසපන් වූ භික්ෂූහු දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.
02 භික්ෂූන් නොමැති ප්‍රදේශයෙක් හි මෙහෙණක විසින් වස් නො වැසිය යුතු ය.
03 අඩ මසක් පාසා මෙහෙණක විසින් භික්ෂු සංඝයා ගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලාපොරොත්තු විය යුතුයි.
04 වස් අවසානයෙහි දී භික්ෂු භික්ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.
05 ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක් මානත පිරිය යුතු යි.
06 අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයා ගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.
07 කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්ෂු කෙනෙකු හට ආක්‍රොෂ පරිභව නො කටයුතු යි.
08 මෙහෙණියන් විසින් භික්ෂුන් හට අවවාද නො කටයුතු ය. භික්ෂුන් විසින් භික්ෂුණීන්ට අවවාද කටයුතු ය.
ආනන්ද ස්වාමීන්වහන්සේ මේ ගරු ධර්ම අට, බුදුරජාණන් වහන්සේගෙන් උගෙන, මහා ප්‍රජාපතී ගෝතමිය වෙත එළඹ ගරු ධර්මයන් විස්තරකොට, ඔබ ගරු ධර්මයන් පිළිගන්නෙහි නම් එය ම ඔබට පැවිදි උපසම්පදාව වන්නේ යැ’යි ප්‍රකාශ කළ බව බොදු ඉතිහාසය පැහදිලි කරයි.
එහිදී මහා ප්‍රජාපතී ගෝතමිය විසින් ඒ ධර්මයන් අට පිළිගනිමි’ යි තුන්වරක් ප්‍රකාශ කොට මහනකම ලබා උපසම්පදා ශීලයේ හිද පිහිටුවීය. බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි පන්සියයක් ක්ෂත්රිය කුමාරිකාවෝ ද භික්ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ.
මෙසේ මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය.
වස්සාන සමයෙහි බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍ය අතින් වැදගත් පෝය දිනයකි. අවුරුද්දේ එළඹෙන වැසි සාර මාසය ශාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රකට ය.