කොරෝනා ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය ගැන සොයාබලන්න’යි අලි සබ්රි ඉල්ලයි
කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස තමා අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද කොවිඩ් වයිරසය ආසාදිත මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබා දී ඇති බවද , ඒ අනුව ලෝකයේ රටවල් 189ක ආදාහනය හැරුණුකොට භූමදානය කිරීමේ අවසර ලබා දී තිබෙන බවද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු අධිකරණ අමාත්‍යවරයා මෙසේද කීය.
“මුල් කාලයේ දී අපිට පොඩි බයක් තිබුණා මේ වෛරසය නොහඳුනන නිසා. නමුත් මේ පිළිබඳව මේ වෙනකොට ප්‍රමාණාත්මක යම් දැනුමක් තියෙනවා. මේක විද්‍යානූකූලව සලකා බලලා, මේ සම්බන්ධයෙන්, මේක සමාජයට පැතිරෙන්නේ නැති ආකාරයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන මේ සඳහා ලබා දිය හැකි අවස්ථාව සලකා බලන්නැයි අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම කරන එකෙන් අදහස් කරන්නේ නෑ අපි මේ රටේ නිරෝධායන නීතියට අභියෝග කරනවා කියලා.
මේ රටේ සියලුම ජනතාවට මේක විශාල අමාරු කාලයක්. මට දුරකතන ඇමතුම්100ක් ආවොත් 99ක් කථා කරන්නේ, මුස්ලිම් ජනතාව ආදාහනය කරන එක නවත්තලා භූමදානය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන් ද කියන එක සම්බන්ධයෙන්. මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදීන් කියලා හංවඩු ගහනවා. මෙතෙන ඇති අන්තවාදයක් නැහැ’’යිද අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේය.
(තිළිණි ද සිල්වා) Lanka Deepa