වරායේ ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්

වරාය තුල රඳවා ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආනයන අපනයන පාලක ජෙනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

සූම් තාක්ෂණය ඔස්සේ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව අද රැස්වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ සිට මෙම නියෝගය ලබා දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එසේ නිදහස් වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස හා අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන ලෙස මෙහිදී අදහස් පළ කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳපොලට නිකුත් කිරීමේ වගකීම වෙළඳ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරින් විසින් දැරිය යුතු බවට ද මෙහිදී අවධාරණය කර තිබෙනවා.