විසඳුම් ලැබෙනතුරු සේවයට වාර්තා නො කරන බව ගුරු සංගම් කියයි

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රතිඵල අන්තර්ගත නො වීම හරහා දරුවන් අසරණ වී ඇති බව රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ශෙහාන් දිසානායක මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙනතුරු යළි සේවයට වාර්තා නො කරන බවයි.

මේ අතර ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ගැන මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ සාමාජිකයෙකු වූ මහින්ද අමරවීර, වීරකැටිය ප්‍රදේශයේ දී අදහස් පළ කළා.

ඔහු ප්‍රකාශ කළේ, වැටුප් ගැටලුවට අදාළ විසඳුම් ඉදිරි අයවැයෙන් ලබාදීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ හේතුවෙන් පාසල් ඉදිරියේ දී විවෘත කිරීමත් සමඟ ගුරුවරුන් සේවයට වාර්තා කරනු ඇති බවට තමා විශ්වාස කරන බවයි වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.