සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මකවන්නේ දැයි දැඩිව විමර්ශනය කරන්න

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙනවා.

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජන ඒකරාශි වීම් සිදු වන අතර ඒ සමග කොවිඩ් වසංගතය පැතිරී යාමේ අවදානම යළි මතු නොවීමට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි සැලකිලිමත් වීම
අත්‍යාවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

අද (01) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී ඔවුහු මේ බව සඳහන් කළා.

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවයට කැඳවීමේ දී හා ප්‍රවාහන කටයුතු පිළිබඳ අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ වල අදාළ චක්‍රලේඛයන්ට අනුව පවත්වාගෙන යා යුතුයි.

අදාළ චක්‍රලේඛ මේ වන විටත් අමාත්‍යාංශ වෙබ් අඩවි මගින් පළ කර තිබෙනවා.

තවද මගී අවශ්‍යතාව මත බස්රථ සහ දුම්රිය ප්‍රමාණවත් පරිදි ධාවනයට එක්කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

වයස අවුරුදු 30ට වැඩි සමස්ත ජනගහණයෙන් 95%කට ආසන්න ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති අතර අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සහ සංකූලතා සහිත අවුරුදු 12 – 19 අතර දරුවන් එන්නත්කරණය සාර්ථකව සිදුකෙරෙමින් පවතිනවා.

එන්නත් ලබාදීම පිළිබඳ පුළුල් සංගණනයක් කඩිනමින් සිදුකිරීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කළා.

සංචාරක සහ ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

වසංගත තත්ත්වය පාලනය කර, ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස්, මාධ්‍ය මගින් ජනතාව වෙත අඛණ්ඩව ලබාදීමට තීරණය වී තිබෙනවා.


කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!