යුරෝපා සංගමය ශ්‍රී ලංකාව තුළ සිදුකළ GSP+ නිරීක්ෂණ චාරිකාව අවසන් වේ

ශ්‍රී ලංකාවට GSP+ පහසුකම් තවදුරටත් ලබාදීම සම්බන්ධයෙන් මෙරට තුළ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර, දේශගුණය මෙන්ම දේශපාලන මූලිකාංග පිළිබඳ ව සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ විශේෂ දූත කණ්ඩායමේ සංචාරය අවසන් කෙරුණා.

අදාල විශේෂ දූත කණ්ඩායම මෙම සංචාරය ආරම්භ කළේ පසුගිය සැප්තැම්බර් 27 වැනිදායි.

ඔවුන් මෙහි රැඳී සිටි කාල සීමාව තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, අධිකරණ අමාත්‍ය අලි ෂබ්‍රි සභා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් මෙන්ම විවිධ සංගම් නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ද මුණ ගැසුණා.

මීට අමතරව මෙම දූත පිරිස් මෙරට තුළ සිටින යුරෝපා සංගම් රාජ්‍යයන්හි තානාපතිවරු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවල නියෝජිතයින් සමග ද සාකච්ඡා පවත්වනු ලැබුවා.

2017 වර්ෂයේ දී ශ්‍රී ලංකාව නැවතත් යුරෝපා සංගමයේ GSP+ වැඩසටහනට සම්බන්ධ වූ අතර එම අවස්ථාව ලබා දීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කළ යුතු බවට මෙරටට කොන්දේසියක් ද පනවා තිබුණා.

මෙරට මැති ඇමතිවරුන් සමග පැවැති සාකච්ඡාවලදී එම කාරණා පිළිබඳවත් අවධානය යොමු වූ බවයි යුරෝපා සංගම් මෙරට කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙරට ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍රයට යුරෝපා වෙළඳපොළට පිවිසීමට ඇති ප්‍රධානතම ප්‍රවේශය වන්නේ ජාත්‍යන්තර සම්මුතීන් සාර්ථකව ක්‍රියාවට නැංවීම බවත් එහිදී අවධානයට ලක් වූ ගැටලු විසඳාගැනීමට යුරෝපා සංගමය 2015 වසරේ සිට ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කළ බවත් යුරෝපා සංගම් මෙරට කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

GSP+ යනු ලොව පහළ හා මැදි ආදායම් සහිත රටවල තිරසර සංවර්ධනය ඉලක්ක කර ගනිමින් එම රටවල නිෂ්පාදන යුරෝපා රටවලට අපනයනය කිරීමේ දී බදු ඉවත් කිරීමට යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කරන ඒක පාර්ශවීය වෙළද ගිවිසුමක්.