විදුලිබල මණ්ඩල ඉංජිනේරු වෘත්තීය සමිති නිව් ෆෝට්‍රස් බලශක්ති ගනුදෙනුව ගැන අස්ගිරි පාර්ශවය දැනුවත් කිරීමට සැරසේ

නිව් ෆෝට්‍රස් බලශක්ති ගනුදෙනුව නිසා රටට  සිදුවන විශාල පාඩුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා හෙට පෙරවරු 9.30 ට අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් සහ ගැටඹේ විහාරාධිපති හිමියන් හමුවීමට විදුලිබල මණ්ඩල ඉංජිනේරු වෘත්තීය සමිතිය කටයුතු කරනු ලබනවා.

මතභේදයට තුඩු දී ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ පක්ෂ නායකයින් පසු ගිය දා කිහිපවරක් රැස් වුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිවසේදී යි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ  ස්වභාවික ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණය ඉදිකිරීම ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිටත් පවතින්නේ දැඩි කතාබහක්.

අදාළ ගනුදෙනුව පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් පසුගියදා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී රැස්වී සාකච්ඡාවක ද නිරත වුණා.

පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හමුවී සාකච්ඡා කළ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණ ගැසුණා.

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් ලක් රජය සමඟ අවසන් ගිවිසුමකට එළැඹුණු බව අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම පසුගියදා නිවේදනය කළා.

එහි නිල වෙබ් අඩවියට නිකුත් කර ඇති නිවේදනයක දැක්වුණේ, කෙරවලපිටිය එල්.එන්.ජී. අංගනය, යුගදනවි බලාගාරයේ ආයෝජනය සහ මෙරට බලාගාරවලට ගෑස් සැපයීම අදාළ ගිවිසුමට ඇතුළත් වන බවයි.