බස්නාහිර පළාතේ වාහන හිමියන්ට සහනයක්

බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදී තිබේ.

ඒ අනුව, ලබන 12 වනදා  සිට 31 වනදා දක්වා කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා නොවැම්බර් මස 30 වනදා දක්වා දඩ අය කිරීමකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කෙරේ.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීම හේතුවෙන් එම තීරණයගත් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී ජයන්ති විජේතුංගු මහත්මිය සඳහන් කළාය.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය විසින් පද්ධති පරිපාලකත්වය දරන, වාහන ආයාදයම් බලපත්‍ර නිකුත්කරන පරිගණක පද්ධතියේ ධාරිතාව ඉක්මවා ඇති බවය.

ඒ හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

පරිගණක පද්ධතිය යථාවත් කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා තෙක්, මහජනතාවට සිදුවන අපහසුතාවයන් වැළක්වීම සඳහා එම සහන කාලය ලබාදෙන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!