රෙදි ඇඳගෙන පාරෙ යන්න බෑ. හෙට අනිද්දාට ආණ්ඩුවේ නායකයින්ටත් බැරිවෙයි : නිමල් පියතිස්ස

මේ වනවිටත් නුවර එළිය දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයින් වශයෙන් තමන්ට රෙදි ඇඳගෙන සමාජයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති අතර හෙට අනිද්දා වනවිට ආණ්ඩුවේ කිසිවෙකුටත් පාරට බැස යා නොහැකි තත්වයක් නිර්මාණය වනු ඇතැයි තමන් ආණ්ඩුවේ නායකයින්ට ප්‍රකාශ කරන බව විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

“ඉඩමේ ඉන්න ඕනෙ, කුඹුරේ ඉන්න ඕනෙ ගොවියා අද මහපාරට ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන් අපි දන්නවා අපේම ආණ්ඩුවේ සමහර අය ලේබල් එකක් ගහනවා මේ ජේවීපී එකේ අයයි, සමගි ජන බලවේගයේ අයයි, යූ එන්පී එකේ අයයි තමයි මේක පිටිපස්සෙ ඉන්නෙ කියලා. මං හිතනවා මම නුවර එළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයෙක් විදියට සම්පූර්ණයෙන් ඒක ප්‍රතික්ෂේප කරනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අද අපට සමාජයට රෙදි ඇඳගෙන යන්න බැරි තැනකට, අපිව එළවලා දමන තැනකට, උත්සවයකටවත් ගමකට යන්න බැරි තැනකට ආණ්ඩුවේ වැඩසටහන් විවෘත කරන්න යන වෙලාවකදී අපිව ගොවියෝ එකතුවෙලා පළවාහරින තත්වයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. එනිසා අපේ ආණ්ඩුවේ නායකයින්ට අපි කියනවා හෙට අනිද්දා වෙනකොට අපි කාටවත් පාරෙ බැහැලා යන්න පුළුවන්කමක් ලැබෙන එකක් නෑ. තනි තින්දු තීරණ ක්‍රියාත්මක වෙනවා, සමහර තීන්දු පාරාවළලු වෙනවා, ආණ්ඩුව 69 ලක්ෂයකගේ ජනමතයට පිටුපාලා යන ගමනක් ආරම්භ කරලා තියෙනවා නම් මේ ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කරපු බලවේග නොසලකා හරිනවා නම් අපිට සිද්ධ වෙනවා ආණ්ඩුව ගැන හිතනවාට වඩා 69 ලක්ෂයකගේ ජනමතය ගැන හිතන්න. අපට සිද්ධ වෙනවා ඉදිරියේදී ඊට අනුකූල ක්‍රියාමාර්ග විටින් විට ගන්න”

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (07) නුවර එළිය ප්‍රදේශයේ ගොවි නියෝජිතයින් පිරිසක් හමුවීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.