සිලින්ඩර් පිපිරීම් කෘත්‍රිම සිද්ධි දැයි සැකයි
ගෑස් සිලින්ඩර් පුපුරා යන බව කියන සිද්ධීන් කෘත්‍රිමව නිර්මාණය කරනු ලබන සිද්ධීන් දැයි සැකයක් මතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
වෙළෙඳපොළ තුළ කෘත්‍රිමව නිර්මාණය කළ එළවළු මිල ඉහළ යෑම රසායනික පොහොර ගෙන්වීමට ආණ්ඩුව තීරණය කළ මොහොතේ පටන් වෙනස් වූ බව සිහිපත් කරමින් මන්ත්‍රීවරයා ඊයේ (1) පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.
ගෑස් පුපුරා යෑමේ සිද්ධි සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු අවස්ථාවක කරුණු සැඟවීමක් නොකරන බව අවධාරණය කළ ඩිලාන් පෙරේරා මහතා ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ විද්වත් කමිටු වාර්තාවන්ට අනුව ආණ්ඩුව ජනතාවගේ ආරක්ෂාව උදෙසා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද කීය.
මේ ගෑස් පුපුරා යෑමේ සිද්ධිවලට හේතුව ගෑස් සංයුතිය බවට විද්වත් කමිටු වාර්තාවල සඳහන් වුවහොත් ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල දී ගන්නා ආයතනයේ සිට නිවෙස්වලට ගෑස් දෙන තෙක් සිදු කෙරෙන ක්‍රියාදාමය පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.