කොවිඩ් අස්සේ එන ඩෙංගු මාරයා

කිල්ල’ මෙරට සමාජය මුල්බැස ගත්තකි. එහෙත් ‘නොසැලකිල්ල’ හමුවේ එය එතරම් විශාල නොවූවකි. එබැවින්ම මේ මුළු ලොවම පාහේ එකම වසංගතයකින් බැටකන කාලයකි. ඒ අලුත් එකකි. මදි නොකියන්න ඒ අවදානමට කලක් තිස්සේ පවතින වසංගතවලින් ද එල්ල වී ඇත්තේ දරුණු බලපෑමකි. කොරෝනා සමඟ ඩෙංගු උවදුර ඉස්මතු වීමේ අවදානම ඊට උදාහරණයකි.

ඒ දෙකම වයිරස මඟින් පැතිරෙන මාරාන්තික රෝගය. එම වාහක වෙනස් වුව ද අන්තිමේදී ඉන් මනුෂ්‍ය ප්‍රජාවට මරණ වරෙන්තු නිකුත් කෙරේ. එය මෙලොව පැවතීමට තර්ජනයකි. සැවොම ඒ කෙරෙහි අවදියෙන් සිටිය යුත්තේ එබැවිනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අලුත් උපදේශයක් නොවේය. කලින් කලට සිහිගන්වන්නකි. ඒ විශේෂයෙන් වර්ෂාධික කාලවලදීය. ඒ මදුරුවන් බෝවීම එකල ඉතා වැඩි නිසාය. ඩෙංගු, ‘ඊඩිස්’ වර්ගයේ මදුරුවන් රෝගී අයකුගෙන් නිරෝගී අයකු කරා රැගෙන යන්නකි. එම වාහකයා මදුරුවාය. බොහෝ විට මනුෂ්‍ය වාසය ළඟම උන් වැඩෙති.ඒ ආකස්මිකව, නොඑසේ නම් අහසින් කඩා පාත් වන්නාක් මෙන් නොවේ ටිකෙන් ටිකය.

විටෙක දෑස් මානයේය. නැතිනම් අවට පරිසරයේ අනාරක්ෂිත ස්ථානවලය. වැහි පීලි හෝ වහලය මත රැඳ වූ ටයර් ආදිය ද මදුරු වර්ධනයට තෝතැන්නකි. ඒවායේ රැඳෙන පිරිසුදු ජලය ඊට පන්නරයකි. ඉතා කෙටි කලකදී මිනිසාට ආදරණීයයන් අහිමි කරවන්න එය ප්‍රමාණවත්ය. එම මදුරුවාගේ ජීවන චක්‍රයේ අවස්ථා 3කි. ඒ සියල්ල ජලීය එසේත් නැතිනම් ජලය මුල් කර ගත් ඒවාය. මිනිසාට මාරාන්තික ඩෙංගු උවදුරෙන් ගැලවෙන්නට හොඳම අවස්ථාව එයයි. ඒ මිසෙක වැඩිහිටි මදුරුවකු වශයෙන් පියඹා ගිය විටදී එය එසේ නොවේ.

ආසාදිත මදුරුවන් මිනිසාට ආකාර 4කින් එකිනෙකට වෙනස් අයුරින් මේ වයිරසය බෝ කරයි. ඒ, DEN – 1 සිට DEN – 4 ආදී වශයෙනි. එහෙත් සෑම ඩෙංගු රෝගියකුම රක්තපාත හෙවත් අවදානම් තත්ත්වයට පත් නොවේ. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් උණ ඉතා කෙටි කාලයකදී මඟහැරී යනු ඇත. එසේම ඒ ඇතැමුන් කෙරෙන් කිසිම රෝග ලක්ෂණයක් පිටතට නොපනෙන්නටත් පුළුවන.

ඒ කෙසේ වෙතත් එම රෝග ලක්ෂණ පිටතට පෙන්වන තැනැත්තන්ගෙන් වැඩි දෙනකුගෙන් මුලින් සාමාන්‍ය වයිරස් උණ තත්ත්වයක් දක්නට පුළුවන. එය ඔඩුදිවූ විටදී ඩෙංගු උණ හා එම රක්තපාත තත්ත්වයට පත්වන්නටත් පුළුවන. ඒ මිසෙක අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රෝගීන් මෙරටින් වාර්තා වී ඇත්තේ ඉතා අඩුවෙනි. ඒ 1%ක් තරම් අඩු ප්‍රතිශතයකිනි.

ඩෙංගු උණ සහ රක්තපාත තත්ත්වය

එකවර ඇතිවන තද උණකි. ඒ අධික හිසරදයක් ද දනවමිනි. දෑස් පිටුපසට වන්නට වේදනාකාරී බවකි. හන්දිපත් හා මාංසපේශී වේදනාකාරීය. ඒ බොහෝවිට දක්නට ලැබෙන රෝග ලක්ෂණය. ඇතැම්විට සමේ රතු පැහැති දිගට විහිදුණු දද දක්නට පුළුවන. ඒ විදුරුමසින්, නාසයෙන් හා ශ්ලේෂ්මල පටල ආදියෙන් රුධිරය වහනය වීමක්ද ඇතැම් විට හඳුනාගත හැකිය. ඒ ඩෙංගු උණට අදාළවය.

‍ඇතැමුන්ට ඩෙංගු උත්සන්න වන්න බැරි නැත. එවිට එකිනෙකට වෙන්කොට හඳුනාගත හැකි වන අවධි 3කි. ඉන් පළමුවැන්න උණ සහිත වකවානුවය. සතියක් තරම් දුරට ඒ අනුව තද උණ පැවතිය හැකිය. දෙවැන්න අවදානම් අවධියයි. උණ බැස යෑමත්, තරලය සමෙන් පිටතට කාන්දු වීම ඇරැඹීමත් මෙකලදී දක්නට පුළුවන. දෙදිනක් පමණ එය පැවතිය හැකිය. මෙකල වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝගියා ප්‍රතිකාර ලැබිය යුතුය. සාත්තු සත්කාර ද නොඅඩුව හිමිවිය යුතු වේ. නොඑසේ නම් මෙකල ඩෙංගු රෝගියා කම්පන තත්ත්වයට පත්වීමේ අවදානම වැඩි වේ.

ඉනික්බිතිව රෝගය ‘සුවවන අවධිය’ එළැඹේ. එය ද දෙදිනක් පමණ පවතියි. එකල හෘද ස්පන්දනයේ අඩුවක් ද, සමේ රතු පැහැති පසුබිමේ සුදු පැහැයේ ලප ද, එමෙන්ම සම කැසීමේ තත්ත්වයක් ද ඇති විය හැකිය. එවිට අත්ල සහ පතුල වැඩිපුර කැසීමට ඉඩ තිබේ. මූත්‍ර වැඩිපුර පිටවන්නට ද පුළුවන්. මෙකල රෝගියාගේ ආහාර රුචිය පෙරට වඩා වැඩිවීමක් පෙන්නුම් කරයි. ඒ වෛද්‍යවරුන්ගේ විස්තර කිරීමය.

එසේම, උණ බැස යෑමේදී නොනවත්වා ඔක්කාරය ද, උදරාබාධ ද, තද පිපාසය ද, අධික නිදිමත හා සිහි මද ගතිය ද සමඟ ආහාර අරුචිය ද, ඔසප් වීමේදී අධික රුධිර වහනය මෙන්ම නියමිත කාලයට කලින් ඔසප් වීම ද පවතියි නම්, කල් නොයවාම වෛද්‍යවරයකු හමුවට රෝගියා පැමිණවිය යුතුය. එපමණක් නොවේ, දෑත් දෙපා සීතල වීම සහ සුදුමැලි වීම ද, සමේ පැහැය වෙනස් වීම ද, මූත්‍ර පිට නොවීම හෝ අවම වීම ද, නොසන්සුන් හා කලබලකාරී ගති පෙන්නුම් කිරීම ද, හැසිරීමේ වෙනස්කම් දඑසේමය.

මේ අවදානමෙන් ඩෙංගු කලින් හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාර දීමෙන් මිදීමට පුළුවන.

කොරෝනා රෝගීන් තවම මෙරටින් හමුවේ. ඒ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන ආදී ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ බහුලවය. ඒ ලක්ෂණ ද සමඟ මලබද්ධය, පාචනය, වමනය ද කඩින් කඩ ඇති වන උදරාබාධ ආදි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව ඇතැම් ඩෙංගු රෝගීන් රෝහල්ගතවූ අවස්ථාවලට උදාහරණ බොහෝය. දින 3කට වඩා උණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීම වැදගත් වන්නේ එබැවිනි.

ඩෙංගු රෝගීන් අතරත් කොරෝනා ලක්ෂණ

ඩෙංගු ආසාදිත බවට අනුමාන කෙරෙන රෝගියකු මුළු කාලයේදී ‘NS 1‘ නමැති ප්‍රතිදේහ පරික්ෂාවකට යොමු කළ විට ඒ තැනැත්තාට ඩෙංගු ආසාදිත ද? නැති ද? යන වග සොයාගත හැකිය. එහෙත් ඉන් එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වී ඇතිදැයි හරිහැටි හෙළි නොවේ. ඒ සඳහා බොහෝවිට උණ වැලැඳී තෙවැනි දිනයේදී සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කෙරේ. එහෙත් ඇතැම් විශේෂ අවස්ථාවල ද ඊට පෙර රුධිර පරීක්ෂණ කරා යොමු වේ. ගර්භණී කාන්තාවන්, අවුරුද්දට අඩු වයසේ ළදරුවන්, මහලු පුද්ගලයන් හා කලක් තිස්සේ නිධන්ගත රෝගවලින් පෙළෙන්නෝ ඒ අතර වෙති.

එසේම උණ වැලඳී තෙදිනකට පමණ පසුව ඩෙංගු රක්තපාත රෝගීන් කෙරෙන් ප්ලාස්මා තරලය කාන්දු වීම වැනි සංකූලතා ඇතිවීමේ අවදානම අනුව ඩෙංගු සහ එම රක්තපාත තත්ත්වය වෙන් කර හඳුනා ගැනේ. ‘අල්ට්‍රා සවුන්ඩ්’ යන්ත්‍රාධාරයෙන් උර හා උදර කුහර තුළට ක්‍රමයෙන් ප්ලාස්මා තරලය එකතු වන බවක් පෙන්නුම් කෙරේ නම්, එයින් ද අවදානම් අවධියට රෝග පිවිසෙන බවට වෛද්‍යවරු හඳුනා ගැනෙති. එවිට ඊට අදාළ ප්‍රතිකාර රජයේ රෝහල් හරහා නිසි පරිදි සිදු කෙරේ.

ඖෂධවලට අමතරව හොඳ සාත්තුවක් නිතරම ඩෙංගු උණ සුවවී කලක් ගතවනතුරු ඒ තැනැත්තාට ලැබිය යුතුය. රෝගි අවස්ථාවේදී මෙන්ම වෛද්‍ය උපදෙස් අනුව ඉන් සුවය ලබා කලක් ගතවනතුරු ද විවේකය අනිවාර්යය. කිසි විටෙකත් ඒ තැනැත්තා වෙහෙසකර නොවිය යුතුය. ඒ වගට රෝගියාගේ සමීපතමයන් ද වග බලා ගත යුතු වේ. එකලට වැඩිපුර එළකිරි, කැඳ, පලතුරු යුෂ, තැඹිලි, සුප් ආදි පානය වැදගත්ය. ඒ මිසෙක ජලය පමණක් පානය සුදුසු නොවන්නකි.

ඇතැමුන්ට ආහාර අරුචිය තරමක් දුරට කලක් ගතවන තුරු පවතින්න පුළුවන. එවිට එදිනෙදා සාමාන්‍ය‍යෙන් ඒ තැනැත්තා ගන්නා ඝන ආහාර මිසෙක රතු සහ දුඹුරු පැහැති බීට්රූට්, චොකලට්, රතු පැහැති පැණි බීම සහ එම වර්ගයේ ආහාර ආදිය දීමෙන් වැළකීම වැදගත්ය. ඒ මල සමඟ රුධිරය පිටවීම එවිට හරිහැටි වෙන්කර හඳුනා ගැනීම දුෂ්කර හෙයිනි. එසේම, වෛද්‍ය උපදෙස් අනුව උණ සමනයට පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් පමණක් ලබා ගැනීමට ද වග බලා ගත යුතුය. ඒ වෛද්‍යවරුන්ගේ වැඩි දුරටත් අවධාරණය කිරීමකි.

මෙරට කොරෝනා මර්දන වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතැම් විදෙස් රටවල ද ඇගයීමට ලක් වූවකි. මෙරට සීමිත සෞඛ්‍ය කාර්යය මණ්ඩල ඒ කර්තව්‍යයට දායක වී සිටිති. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊට එක් උදාහරණයකි. ආරක්ෂක අංශ ද කොරෝනා වසංගතයේ බලපෑමට පෙර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ජාතික මෙහෙවරට එක්විය. එහෙත් කොරෝනා මර්දන එන්නත් දීමේ ජාතික වැඩපිළිවෙළට ඔවුහු දායක වී සිටිති. එහෙත් එය එසේ වූ පමණින් රටතොට ඩෙංගු රෝගයේ වර්ධනයක් ඇති විය නොහැකිය. ඒ රජයේ සෞඛ්‍ය අංශවල හෝ ජාතික ඩෙංගු මර්දන ඒකකයට හෝ එම රෝගය මර්දනය කිරීමේ සෙසු අංශවලට පමණක් තනිව පරිසරයෙන් ඩෙංගු බෝවන ස්ථාන ඉවත් කළ නොහැකි හෙයිනි. ඊට මහජනතාව කටයුතු කළ යුතුමය. දිනකට අඩහෝරාවක්වත් සියල්ලන්ම අවට පරිසරයේ මදුරුවන් බෝවිය හැකි තැන් පිරිසුදු කළ යුතු වන්නේ එබැවිනි. එහෙත් එය ඒ ආකාරයටම ඉටු කරනුයේ කීයෙන් කීදෙනකු ද? තවත් කොපමණ නම් පිරිසක් ඒ යුතුකම මඟහරී ද? ඒ අතරතුර අවට පරිසරයේ මදුරුන් බෝ වන ආකාරයට රුකුල්දීමත් ඇතැමුන්ගෙන් දැකිය හැක්කකි.

අන්තිමේදි ඊට විපාක අහිංසක දරු පැටවුන් ඇතුළු මුළු සමාජයටම අත්විඳින්න සිදුවේ. ඒ වග මේ වර්ෂයේදී මෙතෙක් මෙරටින් රෝගීන් 17000ක් පමණ වාර්තා වීමෙන් පෙනේ. එයින් අඩක් පමණ බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ය. ඒ රතු එළියකි. මෙකල මෙරටින් වාර්ෂිකව වැඩිපුර රෝගීන් වාර්තා වන කාලයකි. ඒ වග ඉකුත් වසර ගණනාවක සංඛ්‍යා දත්ත ඇසුරෙන් පැහැදිලි වේ.

රජය අති විශාල මහජන මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව ඩෙංගු අවදානම තුරන් කිරීමටත්, එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත් වෙන් කරයි. ඒ මෙරට සංවර්ධනයට යොදා ගත හැකි සම්පත්ය. ඒ පිළිබඳ වෙනමම ආයතන පිහිටුවා රාජ්‍ය නිලධාරීන් ද යොදවා ඇත. පළාත් පාලන ආයතන හරහා ද මේ සඳහා තවත් විශාල වියදමක් වැය කරයි. ඒ විශාල සේවක පිරිසක් ද යොදවමිනි. එහෙත් ඒ සියල්ලටම වඩා මහජනතාවට තනි තනිව විශාල වැඩ කොටසක් මේ ජාතික මෙහෙවරේදී පැවරේ. එය කිසි විටෙක කිසිවකුට අත්හළ නොහැක්කකි.

කොළ එළිය

ඩෙංගු බෝ නොකරන ඊට රුකුල් නොදෙන ස්ථාන බවට පාසල පත්කර ගැනීමට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක්ව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකය. එසේම සෙසු රාජ්‍ය ආයතනවල ද ඒ කර්තව්‍ය සිදු කෙරේ. මහජනතාවට මදුරුවන් බෝ වීමේ අවදානම සහිත ප්‍රදේශ පිළිබඳ දැනුම්දීමට ‘Dengue Freechild’ නමැති ඇප් (APP) එකක් හඳුන්වා දී ඇත. ඒ ජාතික ඩෙංගු මර්දන ඒකකය හා කොළඹ විශ්වවිද්‍යාලයේ එකමුතුවෙනි. අනන්‍යතාව හෙළි නොකර වුවද මදුරුවන් බෝවීමේ අවදානම් සහිත ස්ථාන පිළිබඳ මහජනතාව දැනුම් දිය හැකිය. එවිට අදාළ පළාතේ පළාත් පාලන ආයතනය ඇතුළු බලධාරිහු ඊට ඉක්මන් පියවර ගනිති. දිගින් දිගටම මදුරුවන් බෝ වීමේ අවදානම් ස්ථානවලට අදාළව පියවර නොගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් එය රුකුලකි.

ඩෙංගු පාලනයට වොල්බැකියා නමැති බැක්ටීරියාවක දායකත්වය සාර්ථකව යොදා ගැනීමක් පිළිබඳ මෙරටින් ඇසේ. ඒ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙනි. එහි පරපෝෂවේද අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක ඒ පිළිබඳ විස්තර කරයි.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් නුගේගොඩ හා දෙහිවල ප්‍රදේශවල පැවැත්විණි. ඒ අනුව ඩෙංගු රෝග වාහක මදුරුවාගේ ආහාර මාර්ගය තුළ වොල්බැකියා (Wolbachia) නමැති බැක්ටීරියාට වර්ධනය වන්නට ඉඩ හැරිණි. එයින් ඩෙංගු වයිරසය එම මදුරුවා තුළ වර්ධනය සිදු නොවේ. ඒ අනුව එම මදුරුවා ඩෙංගු වාහකයකු වීමෙන් වැළකේ. එසේම වොල්බැකියා, බැක්ටීරියාව මඟින් විකිණීම අහිතකර රෝග තත්ත්ව ඇති නොකෙරෙන බවද පර්යේෂණාත්මකව තහවුරු කරගෙන තිබේ. දැනටමත් අමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ඒ අතින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන ඇත.

මේ අනුව ගැමි කටවහරේ පැවත එන්නාක් මෙන්, කැ‍ෙල් ගසක් නසන්නට කැලේ ගසක්ම සාර්ථකව යොදා ගත් සැටියකි. එය මෙරට ඩෙංගු මර්දන ව්‍යාපාරයට ඉදිරි පිම්මකි.

ඩෙංගු වසංගතයෙන් මෙරටට වටිනා ජීවිත රැසක් අහිමි විය. වාර්ෂිකව තවමත් ඊට අලුතින් සංඛ්‍යා දත්ත එක්වෙමින් පවතියි. එහෙත් ඉදිරියට එය එසේ නොවනු ඇති බවට මෙවැනි විද්‍යාත්මක පර්යේෂණ හරහා සොයා ගන්නා නව දැනුම ද බෙහෙවින් උපකාරී වේ.