සිරිපා වන්දනාවට එන්නත් කාඩ්පතත් රැගෙන එන්න- ශ්‍රී පාදස්ථානාධිපති
මෙවර සිරිපා වන්දනා වාරය එළඹෙන උඳුවප් පුන් පොහෝ දිනය යෙදෙන 18 දායින් ආරම්භ වන අතර සිරිපා කරුණා කිරීමට පැමිණෙන සියලු දෙනා කොවිඩ් එන්නත් කාඩ් පත රැගෙන එන්නේ නම් එය සෞඛ්‍ය අංශවලට පහසුවක් වනු ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඬුල්ල හා පොත්ගුල් රාජමහා විහාරාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකාචාර්ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.
සිරිපා වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ වී සිරිත් පරිදි වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වන බවත් අදාළ කාලය තුළ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බැතිමතුන්ට සිරිපා කරුණා කිරීමට අවස්ථාව දෙන බවත් උන්වහන්සේ කීහ.
ශ්රීපාදස්ථානාධිපති නාහිමියෝ මෙසේ පැවසුවේ මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී පෙරේදා (30) පැවති විශේෂ රැස්වීමේදීය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත් විණි.
වසර දෙකක් තිස්සේ මෙරට බැතුමතුන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවස්ථාව නොලැබුණු බවත් මෙවර ශ්‍රී පාද වන්දනා වාරය සංවිධාන කිරීමේදී ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෞඛ්‍ය උපදෙස් නියෝග නිකුත් නොකරන ලෙස සෞඛ්‍ය අංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ධම්මදින්න නාහිමියෝ ප්‍රකාශ කළහ.